වැලි කුණාටුව
“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බවකි. හැඬුම් එන්නට ආසන්න බවක් ද ඒ ස්වරයේ විය
කතා කරන අතර මා සුරම්‍යා දෙස බැලුවේ හිතාමතා
නොවේ. ඈ විමතියෙන් මෙන් මා දෙස එක එල්ලේ බලා සිටියාය.
‘‘කවුද? මොකද මෙච්චර දිගට කියවන්නේ. ප්‍රශ්නයක්ද.?’’ යනුවෙන් විමසන්නා
සේ ඈ ඇහි බැම ඔසවමින් ඉරියව්වලින් ප්‍රශ්න කළාය.
මා මන්දස්මිතියක් නංවාගෙන ඇය දෙස
බලාගෙන දෙසපට හිස සැලුවේ අවුලක් නැති බව කියන්නටය. සුරම්‍යා මා දෙස රවා බැලුවාය.
‘‘අන්තිමේට කරදරේ බැරිම තැන කර්තෘ
මණ්ඩලේට මගේ කෝල් එක දැම්මා. එතන හිටිය මහත්තයෙක් තමයි කිව්වෙ ඔය විශ්වවිද්‍යාලෙ
තමයි වැඩ කරන්නේ කියලා. එතෙන්ට කෝල් එකත් අරං බලන්න කියලා. එදා ඉඳං මං ඔයාගෙ
සෙක්ෂන් එක දන්නේ නැතිව සෑහෙන්න මහන්සි වුණා. සමහරු දන්නෙත් නෑ ඔයා පත්තරේට ලියන
බව. අන්තිමේට ඔය සෙක්ෂන් එක හොයා ගත්ත. දවස් කීපයක් දිගටම රින්ග්ස් යනව. කවුරුත්
ආන්සර් කළේ නෑ. ඔපරේටර් මට එක්ස්ටෙන්ෂන් එක කිව්ව නිසා තමයි දිගටම ගත්තේ. ඊයේ
දෙපාරක්ම ඔතන උන්න නෝන කෙනෙක් කිව්ව මේ හිටිය මේ නෑ කියල. මට හිතුණේ බොරුවක් කියනව
කියලා. පස්සේ ඒත් හිතුව ඉන්නව නං නොදෙන්නෙ මොකද කියල. අද ගත්තෙත් එයා නේද? කවුද එයා...?’’
‘‘ආ... ඒ මේ අපේ ස්ටාෆ් එකේ ලෙක්චරර්
කෙනෙක්. මට කිව්ව තමයි දෙතුන් වතාවක් කෝල් ආව කියලා.’’
මා සුරම්‍යා දෙස යළි බැලුවේ මාතෘකාව
ඇය වූ බැවිනි. ඇය පෙර විලාශයෙන්ම වෙනසක් නැතිව මා දෙස බලා සිටියාය. අතින් සංඥා කොට
ඇය විමසුවේ තමන් ගැන විමසන්නේ කුමක් දැයි කියාය.
‘‘ඉවර වුනාම කියන්නාංකො පොඩ්ඩක්
ඉවසන්නකො...’’ මම හඬ නොනැගෙන පරිදි දෙතොල් සොලවා අතින් සන් කරමින් ඉඟි පෑවෙමි. ඇය
දත්මිටි සැපුවාය.
‘‘දැන් එතකොට මෙච්චර මහන්සි වෙලා මාව
හෙව්ව කෙනාගෙ නමවත් මං දන්නේ නැහැනෙ හෙව්ව කාරනෙත් දන්නේ නැහැනේ.
‘‘මම රූපිකා ... රූපිකා දිසානායක මං වැඩ
කරන්නේ මහරගම නගර සභාවේ. මගේ මහත්තයා පොලිසියේ. මං මගේ ජීවිතේ මේ වයසට පුදුමාකාර
අත්දැකීම් ලබාපු ගෑනියෙක්. ‘අභිසාරිකාවකගේ
ස්වයංවරය’ වගේ කතා ගොන්නක් ලියන්න අත්දැකීම් මා ගාව තියෙනවා. ඒකයි මට කතා කරන්න
හිතුණේ. ඔය තරං සංවේදී විදිහට ලියන කෙනෙකුට මාව තේරුම් ගන්න බැරිවෙන එකක් නෑ කියල
හිතුණා.
ඇගේ කතාව අසා සිටින්නට මා කැමැති බව
ඇයට පැවසීමි. සඳුදා හා සිකුරාදා දවස්වල බොහෝවිට
කාර්යාලයේ රැඳෙන බවත් අනෙක් දවස්වල විටින් විට දේශනා සඳහා සහභාගි වන බවත්
පැවසූ මම එළැඹෙන සිකුරාදා මා අමතන ලෙස කියා සිටියෙමි.
‘‘‘හරි... දැන් ඉන්න තැන දන්නවනෙ. මට
එච්චර දුරක් නොවෙයිනෙ. ඇවිල්ල මුණ ගැහිලම මම විස්තර කියන්නත් පුළුවනි. මං ආයෙ
නොවැරදීම සිකුරාදා දවල්ට කෝල් කරන්නම්කො. ඔන්න අද රෑට නං මට නින්ද යයි. දැන් සති
ගාණක් තිස්සේ නින්දක් නෑ.’’ එසේ පැවසූ රූපිකා දුරකථනය විසන්ධි කළාය.
‘‘දැන් ඉතිං සඳුදයි, සිකුරාදයි මෙතන
ටෙලිෆෝල් ආන්සර කරල ඉවරයක් නැති වෙයි. මෙයත් ඉතිං පැනි හිනාව දාගෙන තොඳොල් වුණානෙ.
කවුද ඔය අම්මණ්ඩි...?’’
මම සුරම්‍යා සමග සියලු විස්තර
පැවසීමි. මට සඟවන්නට කිසිවක් නොවීය.
‘‘ආ... එහෙනං රසිකාවියක්. ඔය කෙටිකතාව
අපිටත් දෙන්නකො කියවන්න. ඔයා ලියනව කියල දන්නව වුණාට අපි කාන්තා පත්තර කියවන්නේ
නෑනේ...” එසේ පැවසූ සුරම්‍යා ‘‘කොයිකටත් කල්පනාවෙන්. අපි දන්නේ නෑනෙ කොයි වගේ
අම්මන්ඩියක්ද කියලා.” යනුවෙන් කියාගෙන
නික්ම ගියේ මගේ පිටට වැරෙන් පහරක් ගසමිනි.
ඒ පහරේ ලොකු කතාවක් තිබෙන්නට ඇතැයි මට
සිතුණි. සිකුරාදා උදේ වරුවේ සුරම්‍යාට දේශන ඇත. කොළඹින් ඈත පළාතක වෙසෙන දෙමාපියන්
බැලීම සඳහා සිකුරාදා දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව පිටත්ව යන්නට ඈ පුරුදු වී
සිටියාය. ඒ අනුව සිකුරාදා දවසම ඈ දුරකථනය අසල නැත.
රූපිකාට සිකුරාදාම ඇමතුමක් දෙන්නැයි
මා පැවසුවේ සුරම්‍යා මග හැරීමට බව ඇස සිතුවා වත්ද? ඇත්තෙන්ම සුරම්‍යා නොමැති විටෙක රූපිකා ඇතුමක් දෙන්නේ නම් මැනවි
යැයි මා යටි සිතින් ප්‍රාර්ථනා කළා විය යුතුය.
සිකුරාදා උදේ සිට දුරකථනයට එන සෑම
ඇතුමකටම මා පිළිතුරු දුන්නේ වෙනෙකෙකුට කතා කරන්නට ඉඩ නොතබාය. කරුමෙකට රූපිකාගේ
දුරකථන ඇමතුම ආවේ උදේ වරුවේ දේශන හමාර කොට සුරම්‍යා දිවා ආහාරය ගැනීමට කාමරයට
පැමිණි පසුවය. මේ නම් රූපිකාගේ ඇමතුම වන්නට පුළුවනැයි සිත පැවසුවද මා අසුනෙන් නො
නැගිට්ටේ ‘‘කෝ අර හෝන්තුව කෝල් කළේ නැත්දැ’‘යි අසාගෙනම මොහොතකට පෙර සුරම්‍යා
පැමිණි නිසාය.
දුරකථනයට පිළිතුරු දුන් සුරම්‍යා
කිසිවක් නොදොඩාම රිසීවරය ඉහළට ඔසවා මට සන් කළාය. ඇගේ මුහුණේ වූයේ ප්‍රසන්න බවක්
නොවේ. ඈ මා දෙස බැලුවේ සැක සහිත බැල්මෙනි.
එහා කෙළවරේ වූයේ රූපිකාය. ඒ දිවා ආහාර
ගැනීමට සූදානම් වන මොහොත නිසා පැයකට හමාරකට පසු ඇමතුමක් ගත හැකිදැයි මම කාරුණිකව
විමසා සිටියෙමි. යම් හෙයකින් කතා කරන්නට නො ලැබුණොත් සඳුදා කතා කරන්නෙමැයි ඇය
පැවසුවාය. ආහාර ගෙන කතා කරන්නට ඇගේ දුරකථන අංකය විමසීමට සිතුණු නමුදු සුරම්‍යා
සිටින මොහොතක එය නුසුදුසු බව මගේ හිත කියන්නට විය.
‘‘මොකෝ හවසට දා ගත්තේ අපි ඉන්දැද්දී කතා
කරන එක හරි නෑ කියල හිතුණද?” සුරම්‍යා විමසුවේ ඉවත බලාගෙනය. ‘‘මොනාද අනේ මේ කියන්නේ. එයා දිගටම
කියවන්න ගත්තොත් අපේ ලන්ච් එකත් පවා වෙනවනෙ. මං එතකල් ඔයා කොහොමත් කන්නේ නෑනේ. අද
බැරි වුණොත් සඳුදට කතා කරනව කිව්වා.’’
‘‘සඳුදට මාත් ඉන්නවනෙ. කමු කමු... ඔයා
නැතිව මං කන්නේ නැති බව දන්න එක හොඳයි. මං කාපු ගමං යන්න ඕනේ. අද අම්මව ඩොක්ටර්
කෙනෙකුට පෙන්නන්නත් තියෙනව.’’
දිවා ආහාරය නිමා කළ වහාම සුරම්‍යා
පිටත්ව ගියාය.
‘මට මගේ කතාව කියන කල් ඉවසිල්ලක් නෑ.
ඊයේ මුළු රෑම හිතුවෙ කොහෙන් පටන් ගන්නද කියල. ඒත් ෆෝන් එකෙන් කියන්න බැරි තරම්
විස්තර ගොඩක්. මට ඔයාට නිදහසේ මුණ ගැහෙන්න ඕනේ. මං ඔයාගෙ කැම්පස් එකට එන්නං. දැන්
වැඩ ඇරිල ගෙදර යන්න ලේස්ති වෙලා මේ කෝල් එක ගත්තේ.’’
හවස ඇමතුම ගත් රූපිකා කීවාය.
අප මුණ ගැසෙන්නට නිතර සිසුන් පැමිණෙන
නිසාත්, ආචාර්ය මණ්ඩලයේ අය සිටින නිසාත්
නිදහසේ කතා කරන්නට සුදුසු වාතාවරණයක් නොමැති බව පැවසූ මම නුගේගොඩ දුම්රියපොළ වැනි
පොදු ස්ථානයකදී මුණ ගැසෙමු දැයි විමසුවේ විවාහක ස්ත්‍රියක වූ ඇය අපහසුතාවට පත්
නොවන පරිදිය.
ලැබුණු අවස්ථාවෙන් මම ඇගේ දුරකථන අංකය
ඉල්ලා සිටියෙමි.
‘‘මෙතන ගොඩක් අය ඉන්නව. කවුරුදු ආන්සර්
කරයිද දන්නේ ඈ. මට පිරිමි අයගෙන් කෝල් එන්නේ නැති හංද මේකෙ ඉන්න උං පදයක් හදයි ඒ
හංදා මංම කෝල් ගන්නම්....’’ එසේ පැවසූ රූපිකා ‘‘අනේ මට තේරෙනව. ඔයාව අපහසුතාවට පත් කරන්න මට
ඕනේ වුණේ නෑ... මං ඔතෙන්ට එන්නේ නෑ. රාජගිරියෙ මහජන බැංකුවෙ මගේ හොඳම යාළුව ඉන්නව.
එයා එතන මැනේජර්. ඉනෝක කියල. මං ඔයාට කතා කරන්න කලිං එයාගෙන් ඇහුව.. එයා කිව්ව එතන
නිදහසේ කතා කරන්න පුළුවන්. ලබන සඳුද එන්න කියලා...’’
ඇය සියල්ල අපූරුවට සැලසුම් කොට
තිබිණි. ඇයට කල් නොයවා මා මුණ ගැසී ඇගේ කතා කියන්නට වුවමනා බවත්, විශ්වවිද්‍යාලයට එනවාට මා විරුද්ධ වුවහොත් ඊට විකල්පය සොයා ගන්නට
තරම් ඇය සූක්ෂම බවත් මම තේරුම් ගතිමි.
මම ඇගේ යෝජනාවට එකඟ වීමි. සඳුදා
උදයෙන්ම රාජගිරිය මහජන බැංකුවට එන්නට පොරොන්දු වීමි.
‘‘ආ ගොඩක් ස්තුතියි. හාෆ් ඩේ දාලා මං
එන්නම් ඔයාට නාවල ඉඳං එච්චර දුර නැහැනෙ. උදේ නමය වෙද්දී එන්න.’
රූපිකා සියල්ල තීරණය කළාය. සඳුදා උදේ
වරුවේ සුරම්‍යා පමා වී වැඩට පැමිණීම මට සහනයක් විය.
‘මැනේජර්.. මිසිස් ඉනෝකා ඇවිල්ල ඉන්නවද?’’ මම ආරක්ෂක නිලධාරියගෙන් විමසුවෙමි. ‘‘ඔව් සර්... මැඩම් රූම් එකේ
ඉන්නව... උඩ තට්ටුවට යන්න...’’
ඉනෝකා ඉතා රූබර, ආකර්ශනීය කාන්තාවක වූවාය. වීදුරු දොරෙන් මට ඇගේ රුව ඉතා පැහැදිලිව
පෙනුණු නමුදු ඈ ඉදිරියේ මට පිටුපා සිටින ඔසරියක් හැඳි සිටි කාන්තාවගේ රුව පෙනුණේ
පසුපසිනි. මේ රූපිකා විය යුතුය.
කළමනාකාරිනියගේ කාමරයේ ඉදිරියේ මදක්
තත්පර වූ මට ඇය ඇතුළට පැමිණෙන්නැයි අතින් සන් කළාය. ඒ සමගම ඇය ඉදිරියේ හිඳ සිටි
කාන්තාව හිස හරවා බැලුවාය. ඇය ඉනෝකාටත් වඩා රූමත් ආකර්ශනීය තරුණ කාන්තාවක වූවාය.
මගේ දිව පැටලිණි. මේ රූපිකාද? නැතහොත් ඇය තවම පැමිණ නැද්ද? මම කාමරය සිසිරා නෙත් හෙළුවේ තවත් රූපිකාවක සෙවීමටය.
‘‘යස්... මිස්ටර්...’
‘‘මම සතරසිංහ... මං නිවැරැදි නම් මේ මිසිස්
ඉනෝකා...’’
‘‘ඔව් ඉනෝකා කරුණානායක. වාඩිවෙන්න....’’
මම අනෙක් තරුණ කාන්තාව ගේ වම් පසින් හිඳ ගතිමි.
‘‘අපි බලාපොරොත්තු වුණේ තලතුනා වයසේ
මිස්ටර් සතරසිංහ කෙනෙක්.... ඒත් මෙතන ඉන්නේ තරුණයෙක්නේ.... මේ අපේ වයසේම... බයි ද
වේ... මේ ඉන්නෙ රූපිකා...’’
මම මගේ පසෙකින් අසුන් ගෙන සිටින තරුණ
කාන්තාව දෙස බැලීමි.
‘‘ආ... අනේ වෙන්න බෑ...කොහෙත්ම වෙන්න
බෑ... මේ මිස්ටර් සතරසිංහද.. අයියෝ මං දැනගෙන හිටිය නං මේ ගමන එන්නේ නෑ....’’
දියෙන් ගොඩ දැමූ මාළුවෙකු සේ රූපිකා
ගැහෙන්නට වූවාය..
‘‘ඇත්තටම මේ සුරේන් සතරසිංහමද?
ඒත් මං බලාපොරොත්තු වුණේ තලත්තෑනි කෙනෙක්. ගොඩක්
අත්දැකීම් තියෙන වැඩිහිටියෙක්. අඩුම ගානේ අවුරුදු හතළිහක් හතළිස් පහක් විතර...
නැත්තං මං කෝල් කරන්නේ නෑ. ලියන දේවල් හැටියට මං බලාපොරොත්තු වුණේ වැඩිහිටියෙක්...
අනේ ඉනෝකා සොරි... මං ඔයාවත් අපහසුතාවට පත් කලා. මේ එයා නොවෙයි. මං හෙව්ව එයා
නොවෙයි.... මට මෙයාට මගේ කතා කියන්න බෑ.. කොහෙත්ම බෑ...’’
මම කිසිවක් අදහාගත නොහැකිව මොහොතක්
ගල් ගැසී සිටියෙමි.
‘‘‘මට ඕනේ වුණේ මගේ ජීවිත කතාව කියල
උපදෙසක් ගන්න පුළුවන් කෙනෙක්. වැඩිහිටියෙක්. මගේ ඛේදවාචකය තේරුම් අරං ඒකට උපදෙස්
දෙන්න පුළුවන් කෙනෙක්. අනේ මට සමාවෙලා ඔය පඩිපෙළ බැහැගෙන ආපහසු යන්න. ඔයා රූපිකා
කියල කෙනෙක් දන්නේ නෑ. එහෙම කෙනෙක් කෝල් කළෙත් නෑ... එහෙම කෙනෙක් දැකලත් නෑ....’
ඉනෝකා මා දෙස බලා සිටියේ තවත් එතැන මා
රැඳී නොසිටිය යුතුය යන බැල්මෙනි. ඇය විශාල අපහසුතාවකට පත්වී සිටියාය.
මම හෙමිහිට කාමරයෙන් පිටතට ආවෙමි.
‘‘මට මගේ පවුල කඩා ඉහිරවගන්න බෑ
ඉනෝකා...’’ පඩිපෙළ බැස ගෙන යන තුරු පමණක් නොව විශ්වවිදයාලයේ මගේ කාර්යාලයට එන තුරුද
රූපිකාගේ ඒ හඬ මගේ සවනේ දෝංකාර දෙන්නට විය.
මා පැමිණ ටික වේලාවකින් ඉනෝකා මට
ඇමතුමක් දුන්නේ මා පත් වූ අපහසුතාව ගැන රූපිකා වෙනුවෙන් සමාව ඉල්ලන්නටය.
මේ වන විට විශ්‍රාම
සුවයෙන් පසු වන ඇය මගේ දරුවන්ගේ අම්මාය.