Friday 12 August 2016

බ්ලොග් ලියන අයත් ඇවිත්

   "කළ්‍යාණමිත්‍ර", "ඉවාන්පවුලූශා", "නොකී කතා", "ප්‍රා ජේ", "සා රස" සමග "දසත සැරිසර"

2016 අගෝස්තු 04 දා සවස 3.30ට 
කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛනසේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී  


එළිදැක්වූ මොහොතට පැමිණි
බ්ලොග් ලියන්නන් ඇතුළු 
සැමට හෘදයාංගම ස්තූතිය....!

හෙන්රි වර්ණකුලසූරිය



 

Wednesday 13 July 2016

නිරුවත් ජීවිත ජනගත වේ

විවෘත ආරාධනයයි......!





                                                                                     





 2016 අගෝස්තු 04 දා සවස 3.30ට
කොළඹ 07, ජා.පු.ප්‍ර.සේ. මණ්ඩලයේ 
ශ්‍රවණාගාරයේදී හමු වෙමු.

හෙන්රි වර්ණකුලසූරිය






Monday 13 June 2016

නොනිදන රෑ

සිහිනයකි ඔබ
එහෙත් සිහිනෙන්
අවදි වන්නෙමි මේ රැයේ...

මිහිරි ගී තනු
හෙමින් මුමුණන
ඔබේ මුදු හඬ මට ඇසේ...

ඈත ගව්දුර
පියාඔා විත්
රැයේ මා අසලම රැ‍ඳේ...

හදේ ඉතිරෙන
ආදරේ සුව
ඔබෙන් ලද අපමණ අගේ...


හෙන්රි වර්ණකුලසූරිය

Thursday 28 April 2016

පේරාදෙනි කම්මලේ කොරිඩෝරය




කොරිඩෝරය...කොරිඩෝරය ...

එහෙටත් ගිය කොරිඩෝරය 
මෙහෙටත් ගිය කොරිඩෝරය 
අප හමුවුණ කොරිඩෝරය 
අප වෙන්වුණ කොරිඩෝරය ....

ආසියාවෙ දිගම එකලු

තෙල් බෙදන්න කියපු තැනලු
කරත්තෙ දක්කන්න වුණත්
හිටිහැටියෙම නරක නැතිලු...

ඇන ගත්තම දුක කියන්න

ඕනෙ වුණොත් වළ බහින්න
ගොයින් ඩවුන් ඉවර වෙලා
එළිවෙනකල් වැටිල ඉන්න

කොරිඩෝරය....කොරිඩෝරය...

මේක තමයි කොරිඩෝරය...
අවුරුදු හතරක් තිස්සේ
කට්ට කාපු කොරිඩෝරය...

හෙන්රි වර්ණකුලසූරිය

Tuesday 5 April 2016

ප්‍රාර්ථනාවේ කවිය

වසරකට වරක් එක ලෙස පෙනෙන
මහා බියකරු හීනයෙන් තිගැස්සී අවදි වෙමි
රැයේ නින්දත් නොනින්දත් අතරමැද
හීන් සීරුවේ හිස නගා බලන්නෙමි

ඈත රිටිගල කන්ද  පාමුලින් මතුව එන

නිවි නිවී දැල්වෙනා කදෝපැණි එළියකට
එදා මෙන් අදත් රැවටී හිඳින්නෙමි

මහ රැයේ ගිනි හුළක් අතින් ගෙන පා නැගූ

නව ලොවක් තනන්නට පාරමී දම් පෙරූ
ඔවුන් ගැන මතකයෙන් ඒ එළිය දෙස බලමි

හෙට පිපෙන රතුපාට මල් පොකුරු නෙලා ගෙන

නාඳුනන සොහොන් ගැබ මත එමල් අතුරුවා
රැයේ සුළඟට හොරෙන් පහන්  දල්වා තබමි.


හෙන්රි වර්ණකුලසූරිය

(බක් මහ සැමරුමක් ලෙසින් අවුරුදු 24 ට පෙර ලියූ කවියක්)

Monday 28 March 2016

පුනරාගමනය


ගොර බිරම් රළ බිඳෙන
ඒ වුණත් හිත නිවෙන
හෝ ගාන පොකුණ අස

බොහෝ කලකට ඉහත
හැර දමා පිය මැන්න
ඔය කොළඹ කළු අහස

යළි නොයෙන්නට පැතුව
ඇන්ටෙනාවෙන් වැසුණ
කොන්ක්‍රීට් වන අරණ

දමා යන්නට කිසිත් 
ඉතිරි වී නැති කලෙක
හැරදමා පියමැන්න
විඩාපත් එපුරවර....

*************

ඈත ගම් පියස්සෙක
උලලේනි හඬන රෑ
හඳ එළියෙ නැහැවෙමින්

නුඹේ සෙනෙහස් ගඟේ
කිමිදෙන්න වරම් නැති
මූසලම මේ රැයේ

අනාගතයක සිහින
යළිත් මම දකින්නෙමි
ආයෙමත් රැඳෙන්නට
කොළඹ කළු අහස යට....

-හෙන්රි වර්ණකුලසූරිය

Thursday 3 March 2016

එහෙම නං ඔබ එන්න....!

ගිම්හානයේ දැවෙන
දාහයෙන් ගැලවෙන්න
සැඩ කුණාටුව හමන
මාරුතෙන් සැඟවෙන්න
වැලි කතරෙ පිපාසෙට
දිය බිඳෙන් සැනහෙන්න
වස්සානය ළඟයි
එහෙම නං ඔබ එන්න...

කහවනු පොදි වලින්
ජීවිතේ මිමි මනින
ආදරෙත්, සෙනෙහසත්
මෝහයෙන් බිලි කරන
මග හැරුණු ළබැඳියන්
මග හැරිද්දෙන් කියා
අනාරක්ෂිත ඉමේ
තවත් නොරැඳී ඉන්න

කුරිරු මිනිසුන් අතර
සිතට සහනය ගෙනෙන
ගතට උණුහුම පුදන
නෙතේ කඳුලැලි පිසින
ජීවිතේ බර දරන
කෙම්බිමක් සොයා ගෙන
එහෙම නං ඔබ එන්න...

සිතුම් සිරකර ගන්න
පැතුම් සපුරා ගන්න
බැඳුම් අතහැර ලන්න
හැඟුම් කුලියට දෙන්න
රැඟුම් රඟනා අයට
රංගනය කර ගන්න
වේදිකාවේ නොසිට

එහෙම නං ඔබ එන්න...

හෙන්රි වර්ණකුලසූරිය 

Friday 26 February 2016

රොබෝ කෙනෙක්

කිසිවක් නොහිතන
කිසිවක් නොකරන
කිසිවක් නොදැනෙන
කොහෙවත් යන්නැති
කොහෙවත් එන්නැති
කවුරුත් දන්නැති
කවුරුත් එන්නැති
කාත් කවුරුවත් නැති
සිතුම් සිතෙන්නැති
පැතුම් පතන්නැති
හැඟුම් දැනෙන්නැති
දැවෙන හදක් නැති
සිතෙන සිතක් නැති
පණැ'ති ගතක් නැති
රොබෝ කෙනෙක් 
වෙන්නට ඇත්නම්...


-හෙන්රි  වර්ණකුලසූරිය
2016 පෙබරවාරි 26

Friday 19 February 2016

ජීවිතේ කවිය නුඹ....!


මෙතෙක් ආ ගමන් මග
තැබූ පා සටහන්ද
කෙමෙන් වියැකී යද්දි
දෙනෝදාහක් අතර
නිහඬතාවයෙ ගිලුණ
මගෙ නොවන මගේ හිත
එකම එක මොහොතකුදු
තනිවෙන්න ඉඩ නොදී
තුරුළු කරගෙන ඉන්න
ජීවිතේ කවිය නුඹ.....!


-හෙන්රි  වර්ණකුලසූරිය

Monday 1 February 2016

ගියා වාගෙම එන්න...!


අනේ අර අතන ඇති
කිහිලිවාරුව ගන්න
මං නිදන බූරු ඇඳ
ළඟින් එය රඳවන්න
පොඩි එකී පංපැදුරෙ
හාමතේ නිදි ඔන්න
කිරි නැහැනෙ-කහට තේ
හදල තියලා යන්න...

ඔය මූණෙ වැඩි පුයර
එන්න පිසදාලන්න
මා ළඟින් ඉඳගන්න
ඔය සුවඳ විඳගන්න
උදේ ආ විලසින්ම
හිස් අතින් නොම එන්න
රාග නෙත් ගිනි ගන්න
මහ මගටවත් යන්න...

ගොම්මනේ අඳුර මැද
හෙමින් පා ඔසවන්න
වීදියේ පහන් කණු
එළිය යට සැඟවෙන්න
සීරුවට මාරුවට
කොයි දේත් කරගන්න
එළිවෙන්න පෙර ඇවිත්
මා ළඟින් සැතපෙන්න...


-හෙන්රි  වර්ණකුලසූරිය
2015 ජනවාරි 31

Friday 22 January 2016

ගැබ් ගැනීම

මගේ තෙවන කෙටිකතා සංග්‍රහය වන "නගරාන්තර ප්‍රේමය"  පොතේ "නගරාන්තර ප්‍රේමය" කෙටිකතාවේම දිගුවක් ලෙස ලියැවුණ "ගැබ් ගැනීම" කතාවත් පළ කොට තියෙනවා.

"නගරාන්තර ප්‍රේමය" කියවා "ගැබ් ගැනීම" කියවන්න.

මේ කතා දෙකම එකල "ලක්බිම" පුවත්පතේ පළ වුණා.

මේ කතා කියවා මට දුරකතනයෙන් කාන්තාවන් කතා කරන්නට
පටන් ගත්තා. 
සමහරු දුරකතන අංකය සොයා ගත්තේ පත්තරේට කතා කරලයි.

මේ ගැන නොකී කතාවක් ලියන්න හිතුණා.

















-හෙන්රි වර්ණකුලසූරිය

නගරාන්තර ප්‍රේමය

මගේ තෙවන කෙටිකතා සංග්‍රහය වන "නගරාන්තර ප්‍රේමය" පොතේ එනමින් එන කතාව ගැන බොහෝ දෙනා කතා කළා. 



















මෙහි දිගුවක් වන "ගැබ් ගැනීම" 
මීළඟ Post එකෙන් කියවන්න


- හෙන්රි වර්ණකුලසූරිය


Thursday 21 January 2016

රකුසු හැවිල්ල

(අලුත විවාපත් යුවළ සොයා විදේශයක සිට ආ බිරිඳගේ පැරණි පෙම්වතා ඇයට පහර දී පළා යයි. - පුවතක්.)

දඬු මොනරයෙ

එල්ලී ගෙන
මෙරටට ආ
රකුසනේ

මගෙ පණ සම

මගෙ ඇඹෙණිය
නුඹට නොදෙමි
රකුසනේ.....

මගෙ ප්‍රේමය නසන එකා

තොපම නේද පාළු යකා
තව එක ශනි දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා....

බලා එල්ල

හෙළමි හෙල්ල
කපමි බෙල්ල 
මරු තැනේ....

අයියනායක දෙවිඳු රටේ

අනුහස්කම් නැතිද වදේ
යදිනෙමි පුද දෙමින් වටේ
පොළොවෙ උලා නළල් ඇටේ....

බිමට වැටී

දිගට ඇදී
මහ හඬ දී
දෙවියනේ....

රුවට රිදී රුවක් පුදමි

රන් දුනු හී රැසක් පුදමි
රිදියෙන් කළ වැටක් පුදමි
දොහොත් නගා දෙවිඳු වඳිමි...

ඇයට කරපු විපත අනේ

බලා ගන්නැ දෙවියනේ
පළවා හැර රකුසු තෙමේ
ඇය මට දෙනු සාමිනේ....

ඇය මගෙමයි සාමිනේ....



- හෙන්රි වර්ණකුලසූරිය

Wednesday 20 January 2016

සරණාගත කඳවුරේ යුවතියගේ මල්වර මගුල

 මගේ දෙවන කෙටිකතා සංග්‍රහය "සරණාගත කඳවුරේ යුවතියගේ මල්වර මගුල"  නම් කළේද මේ කෙටිකතාවේ නමිනුයි.

ඒ දින වල මේ කතාව  ගැන කතා බහක් ඇති වුණා. 

විශ්වවිද්‍යාල වල ලේඛකත්ව පාඨමාලා වලදීත් උපුටාගත් බව අසා තිබෙනවා.

















     - හෙන්රි වර්ණකුලසූරිය