Friday 26 February 2016

රොබෝ කෙනෙක්

කිසිවක් නොහිතන
කිසිවක් නොකරන
කිසිවක් නොදැනෙන
කොහෙවත් යන්නැති
කොහෙවත් එන්නැති
කවුරුත් දන්නැති
කවුරුත් එන්නැති
කාත් කවුරුවත් නැති
සිතුම් සිතෙන්නැති
පැතුම් පතන්නැති
හැඟුම් දැනෙන්නැති
දැවෙන හදක් නැති
සිතෙන සිතක් නැති
පණැ'ති ගතක් නැති
රොබෝ කෙනෙක් 
වෙන්නට ඇත්නම්...


-හෙන්රි  වර්ණකුලසූරිය
2016 පෙබරවාරි 26

Friday 19 February 2016

ජීවිතේ කවිය නුඹ....!


මෙතෙක් ආ ගමන් මග
තැබූ පා සටහන්ද
කෙමෙන් වියැකී යද්දි
දෙනෝදාහක් අතර
නිහඬතාවයෙ ගිලුණ
මගෙ නොවන මගේ හිත
එකම එක මොහොතකුදු
තනිවෙන්න ඉඩ නොදී
තුරුළු කරගෙන ඉන්න
ජීවිතේ කවිය නුඹ.....!


-හෙන්රි  වර්ණකුලසූරිය

Monday 1 February 2016

ගියා වාගෙම එන්න...!


අනේ අර අතන ඇති
කිහිලිවාරුව ගන්න
මං නිදන බූරු ඇඳ
ළඟින් එය රඳවන්න
පොඩි එකී පංපැදුරෙ
හාමතේ නිදි ඔන්න
කිරි නැහැනෙ-කහට තේ
හදල තියලා යන්න...

ඔය මූණෙ වැඩි පුයර
එන්න පිසදාලන්න
මා ළඟින් ඉඳගන්න
ඔය සුවඳ විඳගන්න
උදේ ආ විලසින්ම
හිස් අතින් නොම එන්න
රාග නෙත් ගිනි ගන්න
මහ මගටවත් යන්න...

ගොම්මනේ අඳුර මැද
හෙමින් පා ඔසවන්න
වීදියේ පහන් කණු
එළිය යට සැඟවෙන්න
සීරුවට මාරුවට
කොයි දේත් කරගන්න
එළිවෙන්න පෙර ඇවිත්
මා ළඟින් සැතපෙන්න...


-හෙන්රි  වර්ණකුලසූරිය
2015 ජනවාරි 31