Wednesday, 27 January 2021

සියල්ල අහම්බයන්ය

මල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බවකි. හැඬුම් එන්නට ආසන්න බවක් ද ඒ ස්වරයේ විය

දීර්ඝ වෙහෙසකර ආලිංගනයක් අවසානයේදී මා සිටියේ අජටාකාශ ගතව ය. පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී පාවී යන බවක් මට දැනෙමින් තිබිණ.
 
“කොහොමද අපි දරුවෙක් හදන්නේ…” කියා පෙරලා ප්‍රශ්න කළ යුතු වුවද මම තවත් මොහොතක් නිහඬව සිටියෙමි.
 
“මං කිව්වේ මට ඔයාගෙන් දරුවෙක් ඕනේ කියලා… මගේ කුළුඳුල් දරුවා ඔයාගෙ වෙන්න ඕනේ කියලා… ඊට පස්සේ ඕනෙ එකක්…”
මම දැවටෙමින් ඇගේ පහසට තවත් ලොල් වූවා හැර වචනයකුදු නොදොඩන්නට පරිස්සම් වීමි.
 
“අපි ඒ තරම් පින් කරලා නෑ. තව ටික දවසකින් ඔයා යන්නම යනවා” කියා කටට වචන ආ නමුදු මා විමසුවේ “ඇයි? මේ අන්තිම මොහොතෙ” කියාය.
 
සුවිමාලි ඕස්ට්‍රේලියාව බලා නික්ම යන්නට ඉතිරිව තිබුණේ සති දෙකකටත් අඩු කාලයකි. හරියට කියනවා නම් දින දොළහකි.
 
“මට කිසිදෙයක් හිතා ගන්න බෑ… අමල්… මට දැන් ඔයා නැතිව බෑ… ඒත් මට නොගොහිං ඉන්නත් බෑ… අන්තෝ ජටා .. බහි ජටා ..” සුවිමාලි මොහොතක් නිහඬව සිට දීර්ඝ සුසුමක් හෙළුවාය. අවසානයේ ඇය හැඬුම් බර ස්වරයෙන් වචන ගොනු කළාය. “ඒකට මට තියෙන එකම උත්තරේ ඔයාගෙන් දරුවෙක් ලබන එක… ඒක අපේ ආදරේ වෙනුවෙන් ඔයා මට දෙන අමරණීය සිහිවටනය.”
 
මා පෙරළා ගෙන මගේ සිරුර මත පතිත වූ ඈ ඉකිබිඳ හඬන්නට වූවාය. මම ඇගේ හිස කෙස් අතර ඇඟිලි තුඩු යවමින් සිතට දැනෙන කම්පනය මග හරවා ගැනීමට උත්සහ ගත්තෙමි.
 
“අපි හෙට ඉඳල කිසිම සේෆ්ටි ප්‍රිකෝෂන් එකක් ගන්නේ නෑ… මේ මගෙ සරු කාලෙ. ඔයා ඒකට එකඟ වෙන්නෝනැ.”
 
සුවිමාලි හා මා ප්‍රේමයෙන් මුසපත් වී ගෙවී යමින් තිබුණේ දෙවන අවුරුද්දය. දෙවන අවුරුද්ද කීවාට එහි මුල් භාගයයි.
 
මා දෙපාර්තමේන්තුවේ රැකියාවට පැමිණ හරියටම අවුරුදු දෙකක් ගෙවී යන්නට ආසන්නය. මේ මගේ දෙවන රැකියාවයි. පෞද්ගලික ආයතනයක අනියම් රැකියාවක් කරනවාට වඩා විශ්‍රාම වැටුපක් හිමිවන රජයේ දෙපාර්තමේන්තුවක රැකියාවක් ලැබීම ගැන මටත් වඩා සතුටු වූයේ මගේ පවුලේ අයය.
 
මට සුවිමාලි මුණ ගැසුණේ එසේ අලුත් රැකියාවට පැමිණි දෙවන දිනයේදී ය.
 
“අමල් සර්ට ඉංජිනේරු නෝනා කතා කරනව…”
මම සුවිමාලි වැජඹුණු වීදුරු කුටියට ගියෙමි.
 
“ආං… මෙයාද මේ අලුත ආව ඩ්‍රාෆ්ට්මන්.? තරුණ කොල්ලෙක්නෙ…” සුවිමාලි සුහදත්වය පළ කිරීමට පැවසූ මුල්ම වදන් මට අද වගේ මතකය.
 
සාමාන්‍යයෙන් ඉංජිනේරුවරියන් වන්නේ සුන්දර කාන්තාවන් නොවන බවට පොදු මතයක් ඇත. ඒත් සුවිමාලි සැබැවින්ම රූමත් වූවාය.
 
අපගේ රැකියා ස්වාභාවය අනුව හැම විටම අයත් වුණේ ඉංජිනේරුවෙකුගේ අධීක්ෂණයටය. වෙනත් ආකාරයකින් කියනවා නම් “ඉමීඩියට් බොස්” වුණේ ඉංජිනේරුවෙකි.
 
සුවිමාලි දත්ත වගු කිහිපයක් දී පිඹුරක් සකස් කරන්නැයි උපදෙස් දුන්නාය.
“මොනව හරි නොතේරෙන තැනක් ඕනේ වෙලාවක ඇවිත් අහන්න. මං ෆීල්ඩ් ගියෙ නැත්තං මේ සීට් එකේ ඉන්නවා…”
 
“හොඳමයි මැඩම්…” මා එසේ ඇමතුවේ මගේ ආයතන ප්‍රධානියාට එසේ ඇමතීම සම්ප්‍රදාය වූ බැවිනි. සුවිමාලි පෙනුමෙන් මටත් වඩා ළා බාල විය යුතු යැයි මම අනුමාන කළෙමි. “වෙන්න බෑ… ඒ පෙනුම ළා බාල වුණාට ඩිග්‍රියක් කරල ඔය පුටුවට එන්න යන කාලෙ බැලුවම මට වඩා අවුරුද්දක්, දෙකක්වත් වැඩිමල් ඇති… “ මම තනිවම සිතා ගත්තෙමි.
 
අටුවා ටීකා අවශ්‍ය නැත. වහෙන් ඔරෝ වර්ණනා ද අවශ්‍ය නැත. අපි දෙදෙනා ප්‍රේමයෙන් බැඳුනෙමු.
 
දවසට කීප වතාවක් සුවිමාලිගේ කාමරයට යාමට මට සිදු වූ අතර සමහර අවස්ථා වල උපදෙස් දීම සඳහා ඇය මගේ මේසය වෙත ආවාය.
 
“අමල්… මං ඔයාගෙ මේසෙට නෑවිදිං මගෙ කාමරේට එන්න කියන්නෙ ලොකු කමකට හෙම නෙවි. මේකෙ ඉන්න උං මං එතෙන්ට ගිය වෙලාවෙ ඉඳං සේරම වැඩ නවතල මං දිහා කන්න වගේ බලා ඉන්න බව හොරැහට පේනව. අමලුත් ඒක නෝටිස් කරල ඇතිනෙ….”
 
“ඔව් මැඩම්! මැඩම් ඉතිං කොහොමත් සිරියාවන්තයිනෙ….” මට කියන්නට අවශ්‍ය වුණේ ඇය බෙහෙවින් රූමත් නිසා හැමෝම ඇය දෙස බලන බව වුවද මා කීවේ සිරියාවන්ත කතාවකි.
 
“අනෙක අමල් මට මැඩම් කියද්දි අපි දෙන්න ගොඩක් දුරයි වගේ දැනෙනව. ඔයා තරුණ කෙනෙක්. අපි අතරෙ වැඩි වයස පරතරයක් නෑ. ඉතිං මට අනෙක් ගොඩක් දෙනා වගේ මිස් කියල කතා කළාම ඇති.”
 
මට සුවිමාලි මිස් වූයේ ඒ ආකාරයටය. මිස් කෑල්ල හැලී සුවිමාලි වෙන්නට වැඩි දවසක් ගත වුණේ නැත.
 
මම දවසින් දවස ඇගේ රුපශ්‍රීයටද, ඇය වැඩ කරන ආකාරයටද, ඇගේ ගමන බිමන හා කතා බහටද ආශක්ත වෙමින් සිටියෙමි. ඇය මා පිළිබඳ බොහෝ තොරතුරු විමසුවාය. මට එසේ විමසන්නට ශක්තියක් නොවීය.
 
“පුදුමයි…. මෙච්චර හැන්ඩ්සම් කොල්ලෙක් වෙලත් කෙල්ලෙක් නෑ කිව්වම අපි විශ්වාස කරයි කියල හිතන්නෙපා… මට නිකන් බොරු කරනව නේද?” ඇය විමසුවේ මගේ දෑස දෙස එක එල්ලේ බලා ගෙනය. 
 
කොහොමත් කුලෑටි තරුණයෙකු වූ මම ඒ දෑසේ කාන්තියට අවනතව බිම බලා ගත්තෙමි.
 
සුවිමාලි විවාහක බවද, ඇගේ ස්වාමි පුරුෂයා ගෙවී ගිය භීෂණ සමයේ ජීවිතය බේරා ගැනීම සඳහා රටෙන් පැන යාමට පෙර විවාහය ලියා පදිංචි කළ බවද මා දැන ගත්තේ ඇයගේ නවාතැනට පැමිණෙන්නැයි ආරාධනා ලැබ, එහි ගොස්, අඹු සැමියන් ලෙස හැසිරෙන්නට මොහොතකට පෙරය.
 
“මට කර ගහන්න වෙයි කියල ඔයා බය වෙන්නෝනැ නෑ…. මං ඔයාගෙ කරේ එල්ලෙන්නෙ නෑ…. ඒත් මං ඔයාට ආදරෙයි. “ එසේ පැවසූ ඈ මා වියරුවෙන් සිප වැළඳ ගත්තාය.
 
“මේ ගෙවල් අයිති අයට මං කිව්වා අද බෝයි ෆ්‍රෙන්ඩ් එනව, අපි ළඟදි කසාද බඳිනව කියලා. මං බැඳල බව ඒ ගොල්ලන් දන්නෙ නෑ..”
 
සුවිමාලි ඉතා කෙටි කාලකින් මාරුවීමක් ලැබ වෙනත් ආයතනයකට ගියාය. එයට හේතුව එකම තැන රැකියාව කළහොත් අප අතර පැවති සම්බන්ධය තව දුරටත් රහසක් නොවනු ඇති බව අනුමාන කිරීමය. අකමැත්තෙන් වුවද මම ඇගේ තීරණයට එකඟ වීමි.
 
ඒ වන විට ඇය නොදැක ඉන්නට නොහැකි තරමේ ආශක්ත බවකින් මම ඇය හා බැඳී සිටියෙමි.
 
“මේකයි අමල්… එකක් තමයි ඉංජිනේරු නෝනා ඩ්‍රාෆ්ට්මන් කොල්ලව අල්ල ගත්ත කියල කතාවක් හැදෙන එක හොඳ නෑනෙ. අනෙක් කාරණේ තමයි පියල් මාව බැඳලා රටෙන් ගිය බව දන්න කීප දෙනෙක් ඉන්නව. විශේෂයෙන් ඩිසයින් ඔෆිස් එකේ ඉන්නව පියල්ගෙ බැච් මේට් කෙනෙක්. පියලුත් ඉංජිනේරුවෙක්නෙ. කැම්පස් එකේ මට අවුරුදු හතරක් සීනියර්..”
 
සුවිමාලි සරසවියට යන විට පියල් උපාධිය අවසන් කර තිබූ බවද මහවැලියේ රැකියාව කරමින් සිටි පියල් මුල් කාලයේ ඇය දකින්නට සතිපතා පේරාදෙනි ආවා වුවද භීෂණ සමයේ විශ්වවිද්‍යාලය නිතරම වසා දැමුණු බැවින් ඒ හමු වීම් සීමා වූ බවද සුවිමාලි පැවසුවාය.
 
“කොටින්ම මගේ කාමරේ අපි දෙන්න ඉන්න ඉඳිල්ල මට පියල් එක්ක ඉන්න ඉඩක් ලැබුණෙ නෑ. පස්සෙ පස්සෙ අපේ ගෙදර ඇවිත් සාලෙ ඉඳං කතා කරල ගියා. දන්නවනෙ අම්මලාගේ හැටි.”
 
ඇය නොදැක ඉන්නට නොහැකි බව කියමින් මා ‌‌තොඳොල් වෙද්දී සුවිමාලි තීරණයක් ගත්තාය. අපේ සම්බන්ධතාවය අරභයා බොහෝ තීන්දු තීරණ ගත්තේ සුවිමාලිය.
 
“ඔයා කැමති නැද්ද එකට ජීවත් වෙන්න. මං කියන්නෙ මේ… එක ගෙයක් අරගෙන… ඈත පළාතකින් ඇනෙක්ස් එකක් හරි කාමර දෙකක විතර පුංචි ගෙයක් හරි හොයා ගනිමු. ඔයා වීක් එන්ඩ් එකට එන්න. අපි අලුත බැඳපු දෙන්නෙක් කියමු. ආයෙ ගෙවල් කුලියට දෙද්දි කසාද සහතිකේ බලන්නෙ නැහැනෙ….” සුවිමාලි ඇඟට පතට නොදැනී කීවාය.
 
සියල්ල සිදු වූයේ ඉතා කෙටි කාලයකදීය. ඒ ඉතා කෙටි කාලයක් සඳහාය. ඒ සුවිමාලිට ඕස්ට්‍රේලියානු වීසා ලැබෙන තෙක් පමණක්ය.
 
සුවිමාලි සිය සැමියාගේ සෙවනට යන මොහොත දක්වා මම ඇයට අවශ්‍ය සෑම උපකාරයක්ම කළෙමි. පදිංචියට යන නිසා ඇයට ගෙන යන්නට බොහෝ දේ තිබිණ. ඒ හැම දෙයක්ම පාර්සල් කොට බෑග් වල අසුරා නැව්ගත කිරීමටද මම උදව් කළෙමි.
 
මට සුවිමාලි සමඟ ගුවන් තොටුපළට යාමට නොහැකි වූයේ ඇගේ මව හා සොයුරු සොයුරියන් මා ගැන කනින් කොනින් අසා තිබූ නිසාය. දන්නා බව අප දැන නොසිටියාට අපේ සම්බන්ධතාව වෙනත් අය දැන සිටි බව සහතිකය.
 
වතාවක් අප දෙදෙනා “සිසිල ගිනි ගනී” චිත්‍රපටය නරඹන්නට මැජෙස්ටික් සිනමා ශාලාවට ගිය අවස්ථාවක මගේ දෙපාර්තමේන්තුවේ සුළු සේවකයකු අපට මුණ ගැසිණ. අප දෙදෙනා චිත්‍රපටය නැරඹීමට පැමිණ සිටියදී මුණ ගැසුණු බවක් කාර්යාලයේදී නොපවසන ලෙස කළ ඉල්ලීම මා දන්නා තරමින් ඔහු පිළිපැදි නමුදු අපව එලෙස දුටු තව අය කොතෙක් විය හැකිද?
 
තම ස්වාමිපුරුෂයා සමඟ ජීවත් වීමට ඔස්ට්‍රේලියාවට ගිය සුවිමාලි එහි ගොස් මාසයකට පමණ පසු මට දිගු ලිපියක් එව්වාය. තමන් ගැබ් ගෙන ඇති බව සඳහන් කරමින් මට සූක්ෂම ලෙස පණිවුඩය ලබා දුන්නද එය කිසිසේත්ම ප්‍රේමනීය ලියැවිල්ලක් නොවීය. එම ලිපිය අන් අයෙකු අතට පත් වුවහොත් ඉන් සිදුවිය හැකි හානිය අවම කිරීමට ඇය සිතුවා විය යුතුය.
 
“දැන් උඹේ කලවයසත් පැන ගෙන යන්නෙ. නාඩගං නැටුවා මදෑ…. අර හීං නැන්ද අපූරු මඟුලක් කතා කරල තියෙනවා. මෙදා පාර නං ඔන්න කට්ටි පනින්න බෑ…” මා ගමේ ගිය වතාවක අම්මා නිලය ඇල්ලුවාය. “මං නටපු නාඩගං මොනවාදැ”යි විමසන්නට ගොස් කොහෙන් කෙළවර වේදැයි භීතියට පත් මම මෙවර මඟුලට කැමති වීමි.
 
සුවිමාලි මගේ මතකයෙන් ඉවත්ව ගොස් සිටියේ නැත. සෑම රාත්‍රියකම මා කොට්ටයක් තුරුළු කොටගෙන නිදා ගත්තේ ඒ සුවිමාලි බව සිතමිනි. නින්දත්, නොනින්දත් අතර කොට්ටය සිප ගත්තේ ඒ සුවිමාලිගේ මුහුණ සිප ගන්නවා යැයි සිතමිනි. ඒ තරමට ඇය මගේ හද සන්තානයේ ජීර්ණය වී සිටියාය.
 
නිමාලි, සුවිමාලිට වඩා රූපශ්‍රීයෙන් යුතු වීම මගේ හිතට සහනයක් ගෙන දුනි. මතු යම් දවසක අහම්බෙන් හෝ සුවිමාලි හමුවීමේ ඉඩකඩ ඉතා අල්ප වුවද එවන් අවස්ථාවක් උදා වුවහොත් ඇගේ සිතේ ඊර්ෂ්‍යාවක් ජනිත වන ආකාරයේ රූප සොබාවක් ඇත්තියක හා විවාහ වන්නෙමැයි මම සපථ කොට ගෙන සිටියෙමි.
 
මා නිමාලිට වහාම කැමැති වන්නට ප්‍රධානතම හේතුව වූයේ ඇය විවාහයෙන් පසු පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා විදෙස් ගත වන්නට නියමිත වීමයි. එවිට මට තවත් කලක් සුවිමාලි සමඟ සිහින ලෝකයේ සැරිසරන්නට අවකාශ සැලසෙනු ඇති බව මගේ අනුමානය විය.
 
නිමාලි, සුවිමාලි තරම් උස් නොවුවාය. ඇය තරම් කෙසඟ නොවුවාය. ඇගේ සිනාව හා දෙනෙතේ කාන්තිය සුවිමාලි පරයා ආකර්ශනීය විය. විවාහ වී විදෙස් ගත වන්නට නියමිත වීම දක්වා වූ සීමිත දින කිහිපයේදී මා වඩාත් බිය වූයේ නිමාලිට, සුවිමාලි කියා ආමන්ත්‍රණය කෙරේවි යැයි කියාය. විශේෂයෙන්ම යහනේදී මම වඩාත් ප්‍රවේශම් වීමි.
 
මම හැකිතාක් දුරට ඇය නමින් ආමන්ත්රණය කිරීමෙන් වැළකී සිටියෙමි.
 
“මං ඔයාට බන්ටි කියන්නම් ආදරේට…” මම සම්යක්ප්‍රයෝගයක යෙදුනෙමි. “ඇයි ඔයාට බන්ටි කියල ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද…?
එසේ විමසූ නිමාලි හඬනගා හිනැහුණාය.
 
කෙසේ හෝ සුවිමාලි ලෙස ආමන්ත්‍රණය කරන්නට පෙර බන්ටි නවසීලන්තය බලා නික්ම ගියාය.
 
බන්ටි සතියකට වතාවක්වත් මට දුරකථනයෙන් කතා කළාය. ජංගම දුරකථන ප්‍රචලිත නොවූ එකල ඇය මට කතා කළේ කාර්යාල දුරකථනයටය. ඊට අමතරව ඇය මට ලියුම් එව්වා සේම ඒවාට පිළිතුරු යැවීමද අනිවාර්ය විය.
 
එක් දිනයෙක මට විදෙස් දුරකථන ඇමතුමක් ආ විට මා පිළිතුරු දුන්නේ බන්ටි ගැන සිතා ගෙනය. එහෙත් අනෙක් පසින් කතා කළේ සුවිමාලිය.
 
“මට පුතෙක් ලැබුණා. අපේ පුතා ඔයා වගේමයි. දැං ඔයා තාත්තා කෙනෙක්. පුතා ලැබුණු බව තාත්තට කියන්න මාසයක් ගිය එකට සමා වෙන්න. මට කතා කරන්න විදියක් තිබුණේ් නෑ. ඒ ගොල්ලන්ගේ අම්මා ඇවිත් උන්න. එයා හැම වෙලාවෙම මං ළඟමයි උන්නෙ. අනෙක මේ පුංචි අපාට්මන්ට් එකක්…” දුරකථන ඇමතුම ඉතා කෙටි එකක් වීමටත් වඩා මගේ සිත රිදවූයේ ඇය කතා කළ රාජකාරීමය ස්වාභාවයයි.
 
රැකියා ස්ථානයේදී අප එකිනෙකා මුණ ගැසුණු මුල් අවදියේ ඇය මට වැඩ පැවරීමේදී කතා කළ ආකාරය මට සිහිපත් විය. ඇය මා නොසලකා හැර ඇති බවක් හදිසියේ සිතට නැගුණෙන් මා විවාහ වූ බව ඇයට කියා සිටියෙමි.
 
“ඒක හොඳයි අමල්… ඔයා ගැන හිතල මං ගොඩක් දුක් වුණා. හැමදේම සිද්ධ වුණේ මගේ උවමනාවටනෙ. ඔයාගෙ පළවෙනි දරුවගෙ අම්ම මම. මගෙ පළවෙනි දරුවගෙ තාත්ත ඔයා. ඒ මට ඇති. මට ජීවිතේ එක වතාවක් හරි ඔයාට පුතාවයි, පුතාට ඔයාවයි පෙන්නන්න ලැබුණොත් ඒ ඇති.”
 
සුපුරුදු ඕලාරික ගතියෙන් කාලය ගෙවී ගියේය. බන්ටි පශ්චාත් උපාධිය හමාර කොට ආපසු ලංකාවට පැමිණි කෙටි නිවාඩුවක් ගත කොට නැවතත් විදේශගත වූයේ ආචාර්ය උපාධිය සඳහාය. ඒ කාලය අතරතුර දරුවෙකු පිළිසිද නොගන්නට පරෙස්සම් වීම මගේ හිතසුව පිණිසම විය. මම මගේ පුතා සිහිනෙන් දුටුවෙමි.
ගත වූ වසර හතර ඇතුළත මා දෙවතාවක් නවසීලන්තයට ගෙන්වා ගැනීමට බන්ටි උත්සුක වූයේ පවුල රැක ගැනීම සඳහා වැඩිහිටියන්ගෙන් ලද උපදෙස් අනුවද, සැබෑ ලෙසම ඇය පෙළුෑ කාන්සිය නිවා ගැනීම සඳහාද කියා තේරුම් ගැනීමට මම උත්සහ නොකළෙමි.
 
ආචාර්ය උපාධි අධ්‍යයනය හමාර කොට ලංකාවට එන ගමනේදී සිංගප්පුරුවේ සංචාරයක් කරමු යැයි යෝජනා කළේ බන්ටිය. තමන් සිංගප්පුරුවට පැමිණෙන දිනයේ මට ද එන ලෙස ඉල්ලා සිටි ඇය මා වෙනුවෙන් ගුවන් ටිකට්පත් වෙන් කොට ගත්තාය. දින තුනක් නවතින්නට හෝටල් පහසුකම් වෙන් කොට ගත්තාය. සෙන්තොසා දූපතේ යුනිවර්සල් ස්ටුඩියෝව නැරඹීමට යාමට මා තුළ වූ ආශාව නිසා මම මේ ගමනට එක හෙලාම එකඟ වීමි.
 
මා කියන්නට උත්සහ ගන්නේ මේ සංචාරය අතරතුර සිදු වූ සිද්ධීන් හේතුවෙන් අපේ ජීවිතවලට කිසියම් තීරණාත්මක බලපෑමක් එල්ල වූයේ නම් ඊට මුළුමනින්ම වගකිව යුත්තේ බන්ටි බවය.
 
එකල ජංගම දුරකථන නොතිබූ හෙයින් අපේ හමුවීම නිශ්චිත පිළිවෙළකට කළ යුතු විය. එනම් ඇය නවසීලන්තයේ සිට පැමිණෙන ගුවන් යානය චැංගි ගුවන් තොටුපොළට ළගා වීමට කලින් මා එහි ගොස් අදාළ ටර්මිනලයේ පිටවන දොරටුව අසල රැඳී සිටිය යුතු විය.
 
මගේ ගුවන් ටිකට් පත ඇණවුම් කළේ ඇය පැමිණෙන ගුවන් යානය චැංගි වෙත ළඟා වීමට පැය පහකට පෙර සිංගප්පුරුවට ළඟා වන ශ්‍රී ලන්කන් ගුවන් යානයේ මට පිටත්ව යා හැකි පරිදිය. සියල්ල සැලසුම් කළ ආකාරයෙන් සිදු විය.
 
බන්ටි රැගත් ගුවන් යානය නියමිත වේලාවට ළඟා වූ බව තිරයේ සටහන් විය. එය අප දෙදෙනාටම හැඟීම් බර මොහොතක් වූයේ අප එකිනෙකා දුටුවේ අවුරුද්දකටත් වැඩි කාලයකට පසුව නිසාය. ඇය නොනවත්වා මා සිප ගත්තාය. වටේ පිටේ සිටින මගීන් අප දෙස බලා සිටිනු ඇතැයි ලැජ්ජාවට පත් මම නෙත් කොනින් හාත් පස සිසාරා බැලුම් හෙලද්දී දුටුවේ කිසිවෙකුටත් වගේ වගක් නැති බවය. හැම දෙනාම කඩිමුඩියේ තමන්ගේ ගමන යනු විනා ඔවුන්ට අප දෙස බලා සිටින්නට කිසිදු උවමනාවක් නොවීය.
 
මම ද රිසි සේ බන්ටිව සිප ගත්තෙමි. ඇත්තෙන්ම මා ඇයට බොහෝ සෙයින් ආදරය කරන බව ජීවිතයේ පළමු වතාවට හැඟී ගියේ ඒ මොහොතේය. ඉක්මනින් දරු සුරතල් බැලිය යුතු යැයි මම සිතා ගත්තෙමි.
 
අපි කලින් වෙන් කොට ගෙන තිබූ හෝටලයට ගියේ මදක් විවේක ගෙන සංචාරය ඇරඹීමටය. දීර්ඝ ගුවන් ගමනක යෙදී වෙහෙසට පත් වී සිටි ඈ කමසුව විඳීමෙන් පසු සැපදායක දීර්ඝ නින්දකට පත් වූවාය.
 
රාත්‍රී තුනක් සිංගප්පුරුවේ ගත කොට රිසි සේ සංචාරය අවසන් කළ අප සිව් වන දිනයේ උදෙන්ම මුස්තාෆා මෝල් එකට ගියේ ලංකාවට ගෙන ඒමට අවශ්ය තෑගි බෝග ඇතුළු විවිධ දේ මිලදී ගෙන එතැනින්ම ගුවන් තොටුපොළට යන්නට සිතා ගෙනය. ලංකාව බලා පිටත් වන ගුවන් යානය පිටත් වීමට නියමිත වූයේ මධ්‍යාහ්නයේදීය.
 
අපි චැංගි ගුවන් තොටට පැමිණියේ අවසාන මොහොතේදීය. කලබලයෙන් ආගමන විගමන කටයුතු අවසන් කොට ගත් අපි නියමිත ටර්මිනල් එකට පැමිණියෙමු. ආසන පේළි වල තැනින් තැන මගීන් රැඳී සිටිය අතර අපි හාත්පස සිසාරා බලමින් ඉඩකඩ ඇති තැනක් සොයා ගෙන අසුන් ගත්තෙමු. දන්නා හඳුනන කෙනෙක් අසුන් ගෙන සිටියේ නම් අපව හොඳින් හඳුනා ගන්නට ඒ කාලය හොඳ හැටි ප්‍රමාණවත්ය.
 
“මං වොෂ් රූම් එකට ගිහිං එන්නම්. ඔයා මේ බෑග් වලට ඇහැ ගහගෙන ඉන්න. මේවයෙ කියල නෑ… බෑග් උස්සන අය ඉන්නවා….” බන්ටි මදක් එපිටින් වූ විවේකාගාරය වෙත ගියාය.
 
මම ඈතට ඇවිද යන බන්ටි දෙස බලා සිටියෙමි. ඇය සුන්දර කාන්තාවකි. මෙතැන් පටන් අප ජීවත් වනු ඇත්තේ එක් වහලක් යටය. ජීවිතයේ දුක්ඛ දෝමනස්ස බෙදා ගනු ඇත්තේ එකටය. වසර හතරක් නාමික විවාහ දිවියක් ගත කළ අප මෙතැන් පටන් පූර්ණ විවාහක අත්දැකීමක් ලබනු ඇත.
 
“ඒ ඔයාගෙ වයිෆ්ද… එයා ලස්සනයි….” ඈත අතීතයේ සිට හද හද සන්තානයේ දෝංකාර දෙන හුරුපුරුදු කටහඬින් තිගැස්සී ගිය මා ඒ හඬ පැමිණි දෙස බැලූ විට ඇස්මානයේ දුටුවේ පියකරු පිරිමි දරුවෙකි.
 
වයස අවුරුදු පහක් පමණ වූ ඒ දරුවාගේ දෙනෙත් සමඟ මගේ දෙනෙත් මොහොතකට ගැටිණ. මා හිස ඔසවා බැලුවේ මගේ බාල කාලය සිහිපත් කර ගෙනය. මට දැනුණේ මා ඉදිරියේ සිටින්නේ මා බවකි.
 
සුවිමාලි…. ඇය දරුවා අතින් අල්ලාගෙන මා අසල ප්‍රාතුර්භූතව සිටියාය. මම ක්ෂණයෙන් ඊ ගසක් සේ නැගී සිටියෙමි.
 
“සුවිමාලි… ඔයා…. ?”
 
“අමල්… මං ටික වෙලාවක් ඔයාල දිහාවෙ බලන් උන්න. දෙන්න ඉඳ ගන්න සීට් එකක් හොයද්දිමයි මං අඳුන ගත්තෙ. ඇවිත් කතා කරනවද නැද්ද කියල හිතද්දි එයා ගිය නිසයි මට එන්න ශක්තියක් ආවෙ… මේ පුතා…” ඇය ඉතා හැඟීම් බරව කීවාය.
 
පහත් වී පුතා බදාගත් මම සිප වැළඳ ගත්තෙමි. මගේම ජීවන සුවඳ මට දැනෙන්නට විය. “මගෙ පුතේ…” මම තොල් මැතිරුවෙමි.
 
බන්ටි ආපසු පැමිණෙන්නට කල්ප කාලයක් ගත වන්නේ නම් කොපමණ අගේදැයි මට සිතිණි. ඇය ආපසු පැමිණෙන අතරතුර සුවිමාලි කියවාගෙන ගිය දිගු කතාවක සාරාංශය නම් ඇය මගෙන් සමුගෙන ඕස්ට්‍රේලියාවට යන විට විවාහක සැමියා වෙනත් කාන්තාවක් සමඟ ජීවත් වෙමින් සිට ඇත. ඔහුට දාව ඒ කාන්තාවට දරුවෙකු ද සිටින බව ඇය දැන ගෙන ඇත්තේ මාස කිහිපයකට පසුවය. එතැන් පටන් සුවිමාලි ගත කොට ඇත්තේ ඉතා අප්‍රසන්න කාල පරිච්ඡේදයකි. පුතා ඉපැදුණු පසුව ඇය ස්වාමි පුරුෂයාගෙන් වෙන් වී ඇත. පියල් ඉතා කැමැත්තෙන් ඊට එකඟ වී ඇත.
 
ඇය දරුවා හදා වඩා ගැනීම සඳහා සිය මව එරටට ගෙන්වා ගෙන ඇත. ඇයට ඔහුගෙන් ලැබුණු එකම දායාදය ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයට ඉල්ලුම් කිරීමට අවශ්‍ය නීතිමය සුදුසුකම පමණි. මේ කිසිවක් මට නොදන්වන්නට ඇය වග බලාගෙන ඇත්තේ ඈ දුරකථනයෙන් කතා කළ මොහොතේ මා විවාහ වූ බව පැවසූ නිසාය.
 
මට සුවිමාලි සමඟ කතා කරන්නට බොහෝ දේ තිබිණ. එහෙත් අගක් මුලක් සිතා ගන්නට නොහැකි විය.
 
ඒ සමඟම ගුවන් යානයට මගීන් ඇතුළත් කර ගැනීමේ නිවේදනය ප්‍රචාරය විය.
 
“ඉඩක් ලැබුණොත් ප්ලේන් එකේදි කතා කරමු. ඔයා මා ළඟට එන්න. හැබැයි අම්ම ඉන්නව. ඒ හංදා ඔයාගෙ නම කියන්නෙපා. අම්මලා ඔයාව නමින් දන්නව” ඈ පුතා අතින් අල්ලා ගෙන මව වෙත ගියාය.
 
“මං මේ ඩිස්ටර්බ් නොකර ඈතින් බලා උන්නෙ. සෑහෙන වෙලාවක්නෙ, හෝ ගාල කියවනව ඈතින්ම දැක්ක.” ඒ සමඟම පැමිණි බන්ටි කීවාය.
 
“කවුද අනේ ඒ… ලස්සන ලේඩි කෙනෙක්. පැංචත් හරිම කියුට්…”
 
“ආ… ඒ … පුතාගෙ අම්ම….” මට කියැවිණ.
 
-හෙන්රි වර්ණකුලසූරිය

Friday, 4 December 2020

තලත්තෑනි තරුණයා

 




‘‘කොහෙද අනේ යන්නෙ. ඔයාට කවුද ගෑනියෙක් දෙපාරක්ම කෝල් කළා .’’

ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග දේශන පත්‍රිකාවක් සාකච්ඡා කොට පැමිණි වහාම මා වෙත ආ සුරම්‍යා පැවසුවා.

‘‘
ගෑනියෙක්...!,,

‘‘
ඔව්. ගෑනියෙක් තමයි. ඊයෙ හවසත් කෝල් එකක් ආවා. ඔයාව ඇහුව. මං ඒ තරං ගණන් ගත්තේ නෑ. ස්ටුඩන්ට් කෙනෙක් වෙන්නැති කියලා හිතුවෙ. දැන් ටිකකට කලිනුත් කතා කරලා ඔයා නෑ කිව්වම ගෑනි කතා කළේ ඔයා මෙතැන ඉන්දැද්දී මං නෑ කියනව වගේ නුරුස්නාවෙන්.

‘‘
ඇයි.. මොනාද ඔයාට කිව්වේ..?’’

‘‘
පොඩ්ඩක් විපරම් කරල බලන්නකො. ඔය නෝනට එක පාරටම පේන්නෙ නැති වුණාට ළඟ පාතක ඉන්නවද කියල පොඩ්ඩක් බලන්න කියල මට උපදෙස් දුන්නේ... මළ හෝන්තුවක්.

මේ දෙබස් ඇති වුණේ අප සමග සේවය කරන සහය කථිකාචාර්යවරියක හා මා අතරය. සුරම්‍යා විශ්වවිද්‍යාලයේදී මා සමග එකට උපාධිය හැදෑරූ හිතවතියකි. අප දෙදෙනාම සහකාර කථිකාචාර්යවරුන් ලෙස බැඳුණේද එක වරමය. එකම අධ්‍යයන දෙපාර්තමේන්තුවකය.

මා මේ සඳහන් කරන සිද්ධිය සිදු වුණේ  දැනට දශක තුනකටත් එහා ජංගම දුරකථන ප්‍රචලිත නොවූ කාලයකය. කිසිවකුට හෝ කිසියම් සම්බන්ධීකරණයක් සඳහා අප ලබා දුන්නේ පොදු ඍජු දුරකථන අංකයයි.

‘‘
කටහඬ නං හරි හුරතල්. නලවල කතා කළේ. ස්ටුඩන්ට් කෙනෙක් නං නෙවි. හරියට හොර වැඩකට කතා කළා වගේ බයෙන්ද කොහෙද ඔයා ගැන ඇහුවේ.” (කිසි විටෙකත් අනෙකුත් විවේචනය නොකරන සුරම්‍යා මගේ කුටියට එබිකම්කොට යළිත් පැවසුවාය.

පසුදින උදයෙන්ම දුරකථනය නාද විය. සුරම්‍යා වෙනදා පරිදි ඇමතුමට පිළිතුරු දෙන්නට අසුනෙන් නැගිට්ටේ නැත. අප එකිනෙකා වෙන් වූයේ වීදුරු බිත්තිවලින් නිසා ඇගේ නොපහන් මුහුණ මට දැක ගත හැකි විය.

‘‘
අනේ ළමයො.. කෝල් එක කාටද බලන්නකෝ’’


‘‘
අරකි වෙන්නැති. ඔයාම අරන් බලන්න.’’

දුරකථන ඇමතුම අසංකටය. ‘‘හැම කෝල් එකම අර මනුස්සයගෙ කියල හිතන්නෙපා සුරම්‍යා’’ ඇගේ කුටියට එබී පැවසූ මම මගේ වැඩවල නිරත වීමි. සුරම්‍යා මට විරිත්තුවාය.

අපි දෙදෙනා බොහෝ විට පෞද්ගලික තොරතුරු හුවවමාරු කර ගන්නා තරමට සමීප වීමු. මගේ පාසල් ප්‍රේම කතා හැමෙකක්ම පාහේ සුරම්‍යා දැන සිටියාය. ඇගේ පවුලේ අතිශය පෞද්ගලික තොරතුරු පවා පවසන්නට ඈ පැකිළුණේ නැත.

‘‘
රහ කර කර අහං හිටය වගේ නොවෙයි ඔන්න පත්තරේට ලියන කතාවලට ඕව දානව හෙම නොවෙයි.’’

කම්මැලිකම යන්නත් එක්ක ඇගේ මේසය ඉදිරියේ වාඩිලා අල්ලාප සල්ලාපයේ යෙදී සිටින විට මා දෙස එක එල්ලේ බලා සිටිමින් දෑස් ඉවතට නොගෙන තරවටු කරන්නට ඇය පුරුදු වී සිටියාය.

ඇගේ දෑස් වෙතින් ඇස ඉවතට ගත නොහී මදක් දපනේ වැටෙන මා ඒ වෙලාවට හිතුවේ අපි දෙන්නා ප්‍රේමවන්තයින් නොවුණේ ඇයිද කියාය. කොහෙද අපේ සීනියර් බැච් එකේ සාලිය ආ ගමන්ම ඩැහැ ගත්තනේ. නැත්තං මගෙන් කොහෙ ගැළවෙන්නද?

හදිසියේ පහළ වූ සිතුවිල්ලකින් නැගී සිටි මම සුරම්‍යා වෙත ගියෙමි. ඈ යමක් ලියමින් සිටි ඉරියව්වෙන්ම හිඳිමින් මදක් හිස ඇල කොට මා දෙස නිහඬවම බලා හිඳිමින් හිසෙන් සන් කොට ඇයි දැයි විමසුවාය. ඒ බැල්මට මා ඉතා කැමතිය.

‘‘
ඔයාට ඔය ටී ෂර්ට් එක අගේට ගැළපෙනවා වැඩියත්ම නාල, කොණ්ඩෙ කඩාදාලා ආ දවසට මාර ගති. ඇත්තමයි. සාරියට ඔයා හරිම සීරියස්...’’

‘‘
පිස්සුද මංද... මගේ මොන ලස්සනක්ද ළමයෝ....’’

සමහර වෙලාවට ඇය මා ඇමතුවේ ළමයෝ’’ කියාය. ඇය වෙනත් කෙනෙකුට එසේ අමතනවා මා අසා තිබුණේ නැත.

දිවා ආහාරයෙන් පසු අලස සුවයෙන් මද විවේකයක් ගන්නා අතරතුර දුරකථනය නාද වෙන්නට පටන් ගත්තේය. සුරම්‍යා සුපුරුදු ලෙස නැගී සිටියාය.

‘‘
සුරේන්.. ඔයාට කෝල් එකක්...’’ යනුවෙන් හඬනගා පැවසූ ඇය මා රිසීවරය ඇගේ අතින් ගන්නට පෙර මගේ කණට කර ‘‘අර මල හෝන්තුව තමයි’’ කීවාය.

දුරකථනයේ අනෙක් කෙළවර සිටි කාන්තාව කතා කළේ වෙව්ලන කටහඬකිනි. නමින් විමසා මා බව තහවුරු කරගත් ඇය හුස්මක් නොගෙනම කියවා ගෙන යන්නට වූවාය.

අනේ මිස්ටර් සතරසිංහ මං සති ගාණක් තිස්සේ ඔබතුමාව සොයනවා. අර කාන්තා පත්තරේ කෙටිකතාව ගියාට පස්සේ.

‘‘
මම ඉතිං නිතරම ලියනවනේ... ඔයා කියන්නේ කොයි එක ගැනද’’

මා ඇයට බාධා කලේ ඒ දිනවල මා ලියූ කෙටිකතා නිරන්තරයෙන් පුවත්පත්වල පළ වූ බැවිනි.

‘‘
ඇයි අර ‘අභිසාරිකාවකගේ ස්වයංවරය’’ අනේ ඒක හරිම තාත්විකයි. ඒ කතාව මං කීපාරක් කියෙව්වද මතක නෑ. ඒ තරම්ම හිතට වදිනවා. ඒකත් මට අහම්බෙන් කියවන්න ලැබුණේ. අපි ගෙදරට පත්තර ගන්නේ නෑ. මහත්තය මොනාද ඔතාගෙන ආව පත්තරේක තිබිල කියෙව්වේ. මං ඊට පස්සේ ඉඳලා හැම සතියෙම පත්තරේ ගන්නවා. දැන් සුමාන තුනක් විතර වෙනවනෙ. ඒ කතාව පළ වෙලා... මං පත්තරේට කෝල් කීයක් ගත්තද... ඒක එක වෙලාවට එක එක්කෙනා ආන්සර් කරනවා. ඒත් ඒ කවුරුත් ඔයාගෙ ටෙලිෆෝන් නොම්මරේ දැනන් හිටියේ නෑ. අන්තිමේට පත්තරේ කර්තෘ ලේඩි කෙනෙකුත් කතා කළා. එයත් කිව්වෙ කතා තැපෑලෙන් එනව මිසක ඊට වඩා පෞද්ගලික තොරතුරු දන්නේ නෑ කියලා... මං විශ්වාස කළේම නෑ. ඔය ගෑනු ඉරිසියයිනේ. තව ගෑනියෙක් කතා කරනවට. ඔයාගේ කතා ඔය තරම් දාන්නේ එයා ඔයාව නොදැන ඉන්න බෑනේ. ඒ හින්දා දැනගෙන විස්තර දෙන්නෙ නෑ. කියල මං හිතුව.’’ මම දිගටම හූමිටි තබමින් අසා සිටියෙමි.

කතා කරන අතර මා සුරම්‍යා දෙස බැලුවේ හිතාමතා නොවේ. ඈ විමතියෙන් මෙන් මා දෙස එක එල්ලේ බලා සිටියාය.

‘‘
කවුද? මොකද මෙච්චර දිගට කියවන්නේ. ප්‍රශ්නයක්ද.?’’ යනුවෙන් විමසන්නා සේ ඈ ඇහි බැම ඔසවමින් ඉරියව්වලින් ප්‍රශ්න කළාය.

මා මන්දස්මිතියක් නංවාගෙන ඇය දෙස බලාගෙන දෙසපට හිස සැලුවේ අවුලක් නැති බව කියන්නටය. සුරම්‍යා මා දෙස රවා බැලුවාය.

‘‘
අන්තිමේට කරදරේ බැරිම තැන කර්තෘ මණ්ඩලේට මගේ කෝල් එක දැම්මා. එතන හිටිය මහත්තයෙක් තමයි කිව්වෙ ඔය විශ්වවිද්‍යාලෙ තමයි වැඩ කරන්නේ කියලා. එතෙන්ට කෝල් එකත් අරං බලන්න කියලා. එදා ඉඳං මං ඔයාගෙ සෙක්ෂන් එක දන්නේ නැතිව සෑහෙන්න මහන්සි වුණා. සමහරු දන්නෙත් නෑ ඔයා පත්තරේට ලියන බව. අන්තිමේට ඔය සෙක්ෂන් එක හොයා ගත්ත. දවස් කීපයක් දිගටම රින්ග්ස් යනව. කවුරුත් ආන්සර් කළේ නෑ. ඔපරේටර් මට එක්ස්ටෙන්ෂන් එක කිව්ව නිසා තමයි දිගටම ගත්තේ. ඊයේ දෙපාරක්ම ඔතන උන්න නෝන කෙනෙක් කිව්ව මේ හිටිය මේ නෑ කියල. මට හිතුණේ බොරුවක් කියනව කියලා. පස්සේ ඒත් හිතුව ඉන්නව නං නොදෙන්නෙ මොකද කියල. අද ගත්තෙත් එයා නේද? කවුද එයා...?’’

‘‘
ආ... ඒ මේ අපේ ස්ටාෆ් එකේ ලෙක්චරර් කෙනෙක්. මට කිව්ව තමයි දෙතුන් වතාවක් කෝල් ආව කියලා.’’

මා සුරම්‍යා දෙස යළි බැලුවේ මාතෘකාව ඇය වූ බැවිනි. ඇය පෙර විලාශයෙන්ම වෙනසක් නැතිව මා දෙස බලා සිටියාය. අතින් සංඥා කොට ඇය විමසුවේ තමන් ගැන විමසන්නේ කුමක් දැයි කියාය.

‘‘
ඉවර වුනාම කියන්නාංකො පොඩ්ඩක් ඉවසන්නකො...’’ මම හඬ නොනැගෙන පරිදි දෙතොල් සොලවා අතින් සන් කරමින් ඉඟි පෑවෙමි. ඇය දත්මිටි සැපුවාය.

‘‘
දැන් එතකොට මෙච්චර මහන්සි වෙලා මාව හෙව්ව කෙනාගෙ නමවත් මං දන්නේ නැහැනෙ හෙව්ව කාරනෙත් දන්නේ නැහැනේ.

‘‘
මම රූපිකා ... රූපිකා දිසානායක මං වැඩ කරන්නේ මහරගම නගර සභාවේ. මගේ මහත්තයා පොලිසියේ. මං මගේ ජීවිතේ මේ වයසට පුදුමාකාර අත්දැකීම් ලබාපු ගෑනියෙක්. අභිසාරිකාවකගේ ස්වයංවරය’ වගේ කතා ගොන්නක් ලියන්න අත්දැකීම් මා ගාව තියෙනවා. ඒකයි මට කතා කරන්න හිතුණේ. ඔය තරං සංවේදී විදිහට ලියන කෙනෙකුට මාව තේරුම් ගන්න බැරිවෙන එකක් නෑ කියල හිතුණා.

ඇගේ කතාව අසා සිටින්නට මා කැමැති බව ඇයට පැවසීමි. සඳුදා හා සිකුරාදා දවස්වල බොහෝවිට  කාර්යාලයේ රැඳෙන බවත් අනෙක් දවස්වල විටින් විට දේශනා සඳහා සහභාගි වන බවත් පැවසූ මම එළැඹෙන සිකුරාදා මා අමතන ලෙස කියා සිටියෙමි.

‘‘‘
හරි... දැන් ඉන්න තැන දන්නවනෙ. මට එච්චර දුරක් නොවෙයිනෙ. ඇවිල්ල මුණ ගැහිලම මම විස්තර කියන්නත් පුළුවනි. මං ආයෙ නොවැරදීම සිකුරාදා දවල්ට කෝල් කරන්නම්කො. ඔන්න අද රෑට නං මට නින්ද යයි. දැන් සති ගාණක් තිස්සේ නින්දක් නෑ.’’ එසේ පැවසූ රූපිකා දුරකථනය විසන්ධි කළාය.

‘‘
දැන් ඉතිං සඳුදයි, සිකුරාදයි මෙතන ටෙලිෆෝල් ආන්සර කරල ඉවරයක් නැති වෙයි. මෙයත් ඉතිං පැනි හිනාව දාගෙන තොඳොල් වුණානෙ. කවුද ඔය අම්මණ්ඩි...?’’

මම සුරම්‍යා සමග සියලු විස්තර පැවසීමි. මට සඟවන්නට කිසිවක් නොවීය.

‘‘
ආ... එහෙනං රසිකාවියක්. ඔය කෙටිකතාව අපිටත් දෙන්නකො කියවන්න. ඔයා ලියනව කියල දන්නව වුණාට අපි කාන්තා පත්තර කියවන්නේ නෑනේ...” එසේ පැවසූ සුරම්‍යා ‘‘කොයිකටත් කල්පනාවෙන්. අපි දන්නේ නෑනෙ කොයි වගේ අම්මන්ඩියක්ද කියලා.”  යනුවෙන් කියාගෙන නික්ම ගියේ මගේ පිටට වැරෙන් පහරක් ගසමිනි.

ඒ පහරේ ලොකු කතාවක් තිබෙන්නට ඇතැයි මට සිතුණි. සිකුරාදා උදේ වරුවේ සුරම්‍යාට දේශන ඇත. කොළඹින් ඈත පළාතක වෙසෙන දෙමාපියන් බැලීම සඳහා සිකුරාදා දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව පිටත්ව යන්නට ඈ පුරුදු වී සිටියාය. ඒ අනුව සිකුරාදා දවසම ඈ දුරකථනය අසල නැත.

රූපිකාට සිකුරාදාම ඇමතුමක් දෙන්නැයි මා පැවසුවේ සුරම්‍යා මග හැරීමට බව ඇස සිතුවා වත්ද? ඇත්තෙන්ම සුරම්‍යා නොමැති විටෙක රූපිකා ඇතුමක් දෙන්නේ නම් මැනවි යැයි මා යටි සිතින් ප්‍රාර්ථනා කළා විය යුතුය.

සිකුරාදා උදේ සිට දුරකථනයට එන සෑම ඇතුමකටම මා පිළිතුරු දුන්නේ වෙනෙකෙකුට කතා කරන්නට ඉඩ නොතබාය. කරුමෙකට රූපිකාගේ දුරකථන ඇමතුම ආවේ උදේ වරුවේ දේශන හමාර කොට සුරම්‍යා දිවා ආහාරය ගැනීමට කාමරයට පැමිණි පසුවය. මේ නම් රූපිකාගේ ඇමතුම වන්නට පුළුවනැයි සිත පැවසුවද මා අසුනෙන් නො නැගිට්ටේ ‘‘කෝ අර හෝන්තුව කෝල් කළේ නැත්දැ’‘යි අසාගෙනම මොහොතකට පෙර සුරම්‍යා පැමිණි නිසාය.

දුරකථනයට පිළිතුරු දුන් සුරම්‍යා කිසිවක් නොදොඩාම රිසීවරය ඉහළට ඔසවා මට සන් කළාය. ඇගේ මුහුණේ වූයේ ප්‍රසන්න බවක් නොවේ. ඈ මා දෙස බැලුවේ සැක සහිත බැල්මෙනි.

එහා කෙළවරේ වූයේ රූපිකාය. ඒ දිවා ආහාර ගැනීමට සූදානම් වන මොහොත නිසා පැයකට හමාරකට පසු ඇමතුමක් ගත හැකිදැයි මම කාරුණිකව විමසා සිටියෙමි. යම් හෙයකින් කතා කරන්නට නො ලැබුණොත් සඳුදා කතා කරන්නෙමැයි ඇය පැවසුවාය. ආහාර ගෙන කතා කරන්නට ඇගේ දුරකථන අංකය විමසීමට සිතුණු නමුදු සුරම්‍යා සිටින මොහොතක එය නුසුදුසු බව මගේ හිත කියන්නට විය.

‘‘
මොකෝ හවසට දා ගත්තේ අපි ඉන්දැද්දී කතා කරන එක හරි නෑ කියල හිතුණද?” සුරම්‍යා විමසුවේ ඉවත බලාගෙනය. ‘‘මොනාද අනේ මේ කියන්නේ. එයා දිගටම කියවන්න ගත්තොත් අපේ ලන්ච් එකත් පවා වෙනවනෙ. මං එතකල් ඔයා කොහොමත් කන්නේ නෑනේ. අද බැරි වුණොත් සඳුදට කතා කරනව කිව්වා.’’

‘‘
සඳුදට මාත් ඉන්නවනෙ. කමු කමු... ඔයා නැතිව මං කන්නේ නැති බව දන්න එක හොඳයි. මං කාපු ගමං යන්න ඕනේ. අද අම්මව ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්නත් තියෙනව.’’

දිවා ආහාරය නිමා කළ වහාම සුරම්‍යා පිටත්ව ගියාය.

මට මගේ කතාව කියන කල් ඉවසිල්ලක් නෑ. ඊයේ මුළු රෑම හිතුවෙ කොහෙන් පටන් ගන්නද කියල. ඒත් ෆෝන් එකෙන් කියන්න බැරි තරම් විස්තර ගොඩක්. මට ඔයාට නිදහසේ මුණ ගැහෙන්න ඕනේ. මං ඔයාගෙ කැම්පස් එකට එන්නං. දැන් වැඩ ඇරිල ගෙදර යන්න ලේස්ති වෙලා මේ කෝල් එක ගත්තේ.’’

හවස ඇමතුම ගත් රූපිකා කීවාය.

අප මුණ ගැසෙන්නට නිතර සිසුන් පැමිණෙන නිසාත්, ආචාර්ය මණ්ඩලයේ අය සිටින නිසාත් නිදහසේ කතා කරන්නට සුදුසු වාතාවරණයක් නොමැති බව පැවසූ මම නුගේගොඩ දුම්රියපොළ වැනි පොදු ස්ථානයකදී මුණ ගැසෙමු දැයි විමසුවේ විවාහක ස්ත්‍රියක වූ ඇය අපහසුතාවට පත් නොවන පරිදිය.

ලැබුණු අවස්ථාවෙන් මම ඇගේ දුරකථන අංකය ඉල්ලා සිටියෙමි.

‘‘
මෙතන ගොඩක් අය ඉන්නව. කවුරුදු ආන්සර් කරයිද දන්නේ ඈ. මට පිරිමි අයගෙන් කෝල් එන්නේ නැති හංද මේකෙ ඉන්න උං පදයක් හදයි ඒ හංදා මංම කෝල් ගන්නම්....’’ එසේ පැවසූ රූපිකා ‘‘අනේ මට තේරෙනව. ඔයාව අපහසුතාවට පත් කරන්න මට ඕනේ වුණේ නෑ... මං ඔතෙන්ට එන්නේ නෑ. රාජගිරියෙ මහජන බැංකුවෙ මගේ හොඳම යාළුව ඉන්නව. එයා එතන මැනේජර්. ඉනෝක කියල. මං ඔයාට කතා කරන්න කලිං එයාගෙන් ඇහුව.. එයා කිව්ව එතන නිදහසේ කතා කරන්න පුළුවන්. ලබන සඳුද එන්න කියලා...’’

ඇය සියල්ල අපූරුවට සැලසුම් කොට තිබිණි. ඇයට කල් නොයවා මා මුණ ගැසී ඇගේ කතා කියන්නට වුවමනා බවත්, විශ්වවිද්‍යාලයට එනවාට මා විරුද්ධ වුවහොත් ඊට විකල්පය සොයා ගන්නට තරම් ඇය සූක්ෂම බවත් මම තේරුම් ගතිමි.

මම ඇගේ යෝජනාවට එකඟ වීමි. සඳුදා උදයෙන්ම රාජගිරිය මහජන බැංකුවට එන්නට පොරොන්දු වීමි.

‘‘
ආ ගොඩක් ස්තුතියි. හාෆ් ඩේ දාලා මං එන්නම් ඔයාට නාවල ඉඳං එච්චර දුර නැහැනෙ. උදේ නමය වෙද්දී එන්න.’

රූපිකා සියල්ල තීරණය කළාය. සඳුදා උදේ වරුවේ සුරම්‍යා පමා වී වැඩට පැමිණීම මට සහනයක් විය.

මැනේජර්.. මිසිස් ඉනෝකා ඇවිල්ල ඉන්නවද?’’ මම ආරක්ෂක නිලධාරියගෙන් විමසුවෙමි. ‘‘ඔව් සර්... මැඩම් රූම් එකේ ඉන්නව... උඩ තට්ටුවට යන්න...’’

ඉනෝකා ඉතා රූබර, ආකර්ශනීය කාන්තාවක වූවාය. වීදුරු දොරෙන් මට ඇගේ රුව ඉතා පැහැදිලිව පෙනුණු නමුදු ඈ ඉදිරියේ මට පිටුපා සිටින ඔසරියක් හැඳි සිටි කාන්තාවගේ රුව පෙනුණේ පසුපසිනි. මේ රූපිකා විය යුතුය.

කළමනාකාරිනියගේ කාමරයේ ඉදිරියේ මදක් තත්පර වූ මට ඇය ඇතුළට පැමිණෙන්නැයි අතින් සන් කළාය. ඒ සමගම ඇය ඉදිරියේ හිඳ සිටි කාන්තාව හිස හරවා බැලුවාය. ඇය ඉනෝකාටත් වඩා රූමත් ආකර්ශනීය තරුණ කාන්තාවක වූවාය.

මගේ දිව පැටලිණි. මේ රූපිකාද? නැතහොත් ඇය තවම පැමිණ නැද්ද? මම කාමරය සිසිරා නෙත් හෙළුවේ තවත් රූපිකාවක සෙවීමටය.

‘‘
යස්... මිස්ටර්...’

‘‘
මම සතරසිංහ... මං නිවැරැදි නම් මේ මිසිස් ඉනෝකා...’’

‘‘
ඔව් ඉනෝකා කරුණානායක. වාඩිවෙන්න....’’ මම අනෙක් තරුණ කාන්තාව ගේ වම් පසින් හිඳ ගතිමි.

‘‘
අපි බලාපොරොත්තු වුණේ තලතුනා වයසේ මිස්ටර් සතරසිංහ කෙනෙක්.... ඒත් මෙතන ඉන්නේ තරුණයෙක්නේ.... මේ අපේ වයසේම... බයි ද වේ... මේ ඉන්නෙ රූපිකා...’’

මම මගේ පසෙකින් අසුන් ගෙන සිටින තරුණ කාන්තාව දෙස බැලීමි.

‘‘
ආ... අනේ වෙන්න බෑ...කොහෙත්ම වෙන්න බෑ... මේ මිස්ටර් සතරසිංහද.. අයියෝ මං දැනගෙන හිටිය නං මේ ගමන එන්නේ නෑ....’’

දියෙන් ගොඩ දැමූ මාළුවෙකු සේ රූපිකා ගැහෙන්නට වූවාය..

‘‘
ඇත්තටම මේ සුරේන් සතරසිංහමද?  ඒත් මං බලාපොරොත්තු වුණේ තලත්තෑනි කෙනෙක්. ගොඩක් අත්දැකීම් තියෙන වැඩිහිටියෙක්. අඩුම ගානේ අවුරුදු හතළිහක් හතළිස් පහක් විතර... නැත්තං මං කෝල් කරන්නේ නෑ. ලියන දේවල් හැටියට මං බලාපොරොත්තු වුණේ වැඩිහිටියෙක්... අනේ ඉනෝකා සොරි... මං ඔයාවත් අපහසුතාවට පත් කලා. මේ එයා නොවෙයි. මං හෙව්ව එයා නොවෙයි.... මට මෙයාට මගේ කතා කියන්න බෑ.. කොහෙත්ම බෑ...’’

මම කිසිවක් අදහාගත නොහැකිව මොහොතක් ගල් ගැසී සිටියෙමි.

‘‘‘
මට ඕනේ වුණේ මගේ ජීවිත කතාව කියල උපදෙසක් ගන්න පුළුවන් කෙනෙක්. වැඩිහිටියෙක්. මගේ ඛේදවාචකය තේරුම් අරං ඒකට උපදෙස් දෙන්න පුළුවන් කෙනෙක්. අනේ මට සමාවෙලා ඔය පඩිපෙළ බැහැගෙන ආපහසු යන්න. ඔයා රූපිකා කියල කෙනෙක් දන්නේ නෑ. එහෙම කෙනෙක් කෝල් කළෙත් නෑ... එහෙම කෙනෙක් දැකලත් නෑ....’

ඉනෝකා මා දෙස බලා සිටියේ තවත් එතැන මා රැඳී නොසිටිය යුතුය යන බැල්මෙනි. ඇය විශාල අපහසුතාවකට පත්වී සිටියාය.

මම හෙමිහිට කාමරයෙන් පිටතට ආවෙමි.

‘‘
මට මගේ පවුල කඩා ඉහිරවගන්න බෑ ඉනෝකා...’’ පඩිපෙළ බැස ගෙන යන තුරු පමණක් නොව විශ්වවිදයාලයේ මගේ කාර්යාලයට එන තුරුද රූපිකාගේ ඒ හඬ මගේ සවනේ දෝංකාර දෙන්නට විය.

මා පැමිණ ටික වේලාවකින් ඉනෝකා මට ඇමතුමක් දුන්නේ මා පත් වූ අපහසුතාව ගැන රූපිකා වෙනුවෙන් සමාව ඉල්ලන්නටය.

මේ වන විට විශ්‍රාම සුවයෙන් පසු වන ඇය මගේ දරුවන්ගේ අම්මාය.