Thursday, 16 September 2021

නිර්නාමික පෙම්වතිය


පූර්විකාව

            හරස්පද ප්‍රහේලිකා පිරවීම මගේ විනෝදාංශයක් වූයේ  බාල වියේ සිටමය. ඒ සඳහා පෙළැඹවීමක් කළේ මගේ පියාය.

            සති අන්තයේ සිංහල මෙන්ම ඉංග්‍රීසි පත්තර මිලදී ගෙන ඒමට පුරුදුව සිටි තාත්තා අපවද කියැවීම සඳහා උනන්දු කළේ ඉන් ජීවිතයට ලැබෙන ආලෝකය ගැන කියා දෙමිනි.

            පත්තරේ පළ වන ප්‍රහේලිකා පිරවීම මටත් නංගීටත් දැනුම වඩවන විනෝදජනක ක්‍රියාවක් විය. කළු සුදු කොටු අතර හරහට පහළට දිවෙන තීරු පිරවීම එතරම් පහසු වූයේ නැත. සති අන්තයේ අප දෙදෙනා ප්‍රහේලිකාව පිරවීම පටන් ගැනීමත් සමඟ අම්මාට මෙන්ම තාත්තාටද තොරතෝංචියක් නැතිව අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්නට සිදු විය.

            ඔවුන් දෙදෙනාම තිසි විටෙකත් එය කරදරයක් කොට සැලකුවේ නැත. පාසල් ගුරුවරියක වූ අම්මා සන්ධ්‍යාවේ අද දෙදෙනා ළං කරගෙන ප්‍රහේලිකා කොටු පිරවීමට උදව් කළේ අප දැන නොසිටි වචන වල තේරුම් කියා දෙමිනි.

            මා විශ්වවිද්‍යාලයේ සිටිද්දී ගෙදරට විදුනැණ පුවත්පත මිලදී ගත්තේ නංගීගේ උවමනාවටය. ගණිත අංශයෙන් උගෙන ගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධියට මා ඉගෙන ගනිද්දී නංගී උත්සහ කළේ ජීව විද්‍යා අංශයෙන් උගෙන ගෙන පේරාදෙනි යාමටය.

            තවත් මිතුරෙකු සමඟ බෝඩිමක නැවතී විශ්වවිද්‍යාලයට ගිය මා සෑම සති අන්තයකම ගෙදර ආවේ කටට රහට බත් කටක් කන්නට ඇති ලොල් බව නිසාමය. උදේ හා දහවල් විශ්වවිද්‍යාල කැන්ටිමෙන්ද, රාත්‍රී බෝඩිමෙන්ද ලද ආහාර බඩගින්න නිවා දැමීමට කෑවා මිස ඒවායේ කිසිදු රසයක් නොවීය.

            සති අන්තයේ ගෙදර ගිය විට පුරුද්දට පත්තර පෙරලද්දී විදුනැණ පුවත්පතේ වූ ප්‍රහේලිකාව මගේ නෙත ගැටුණේ අහම්බයෙනි. ඒ වන විට සති අන්ත පුවත්පත් ප්‍රහේලිකා පළ කිරීම අත්හැර දමා තිබිණ. එහෙයින්ම ප්‍රහේලිකා පිරවීමේ සංස්කෘතියද අප අතරින් ගිලිහී ගොස් තිබිණ.

මම විද්‍යා දැනුම උරගා බලන ප්‍රහේලිකාව එක හුස්මට පුරවා දැමුවෙමි. නංගීගෙන් විමසූ විට පැවසුවේ ප්‍රහේලිකා පුරවනවාට වඩා වැදගත් පාඩම් වැඩ ඇයට කරන්නට තිබෙන බවකි. පිරවූ ප්‍රහේලිකාව තැපැල් කොට යවන්නට මම තීරණය කළෙමි. තැපැල් පතක ඇල වූ ප්‍රහේලිකාව මගේ නමින් යවනවාදැයි දෙගිඩියාවක් හදිසියේ ඇති වූයේ මන්දැයි අදටත් මට සිතාගත නොහැකිය.

මේ සියලු සිද්ධි වල මූලාරම්භය එයයි. එනම් ප්‍රහේලිකාව බෝඩිමේ මගේ මිතුරාගේ නමින් යැවීමයි. ලිපිනය ලෙස අප නැවතී සිටි ඩෝඩිමේ ලිපිනය සඳහන් කිරීමයි.

වර්තමාන කතාව

             නියුක්ලියර් පර්යේෂණ පිළිබඳ යුරෝපියානු සංවිධානයේ පර්යේෂණ සහකාරයෙකු ලෙස මා සම්බන්ධ වූ පසු මේ ගෙවී යන්නේ දෙවෙනි වසරයි. කෙටි නාමය ලෙස “සර්න්” යනුවෙන් හඳුන්වනු ලබන මෙම අන්තර්ජාතික පර්යේෂණ ආයතනය පිහිටා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ ප්‍රංශ දේශ සීමාව ආසන්නයේ සුන්දර පරිසරයකය. මට මේ අවස්ථාව ලැබුණේ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා සිදු කරන ලද පර්යේෂණයකට අදාළ අංශු වල ත්වරණය පිළිබඳ කෙරුණු පර්යේෂණ පත්‍රිකාවක් සර්න් ආයතනයේ පිළිගැනීමට ලක් වීමෙන් අනතුරුවය.

            මගේ උපදේශිකාව වන මහාචාර්යවරිය ඉතා ප්‍රියමනාප තැනැත්තියක මෙන්ම ගුරුවරියක ලෙස ක්‍රමවත්ව අධ්‍යයන කටයුත්තේ නිරතවන්නියකි. මැදි වයස ඉක්මවා නොසිටි ඇය වඩාත් කැමැති වූයේ තමන් සිය නමින් අමතනවාටය.

ලුසී හදිසියේ සිය කාමරයට ඇය කැඳවූයේ අධ්‍යයන කටයුත්තකට එහා ගිය කාරියක් සඳහා බව මා තේරුම් ගත්තේ මද වේලාවක් ඇය සමඟ කතාබහ කිරීමෙන් අනතුරුවය. අයිරිෂ් ජාතික කාන්තාවක වූ ලුසී පවසන දෑ තේරුම් ගැනීමට විටෙක ආයාසයක් ගන්නට සිදු විය.

            සර්න් ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරන සම්මේලනයකට සහභාගි වීම සඳහා ලෝකයේ විවිධ රටවලින් පැමිණ සිටින විද්‍යාර්ථීන් පිරිසකට ආයතනයේ පර්යේෂණාගාර දැක බලා ගැනීම සඳහා මග පෙන්වන්නෙකු ලෙස මා තෝරාගෙන ඇති බව ලුසී පැවසුවාය.

            ඒ තෝරා ගැනීම මා සැලකුවේ මට කරන ලද ගෞරවයක් ලෙසින්ය. ඊට හේතුව ලොව පුරා වෙසෙන නියුක්ලියර් විෂයයට සම්බන්ධ පිරිසක් මුණගැසෙනවාට අමතරව ඔවුන් එහා මෙහා කැඳවාගෙන යමින් දැනුමුත්තෙකු සේ විස්තර කිරීම් කරන්නට ලැබීම මගේ අත්ම තෘප්තිය වඩවන්නක් වීමය.

            එහෙයින්ම මට අයත් කණ්ඩායමේ සිටින්නේ කුමන රටවලින් ආ පිරිසක්දැයි දැනගැනීමේ කුතුහලයක් ඇති වූයේ නිරායාසයෙනි. දකුණු ආසියාතිකයින් කිහිප දෙනෙකුගේ නම් එකී ලේඛනයේ විය. ශ්‍රී ලංකාවේ ආත්ර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ නදීකා වීරසූරියද ඒ අතර වූවාය. තමන් උපන් රටෙන් පැමිණි කෙනෙකුද සිටිනවා යන ආශ්වාදය හැරුණු කොට ඇය පිළිබඳ ඉන් එහා විශේෂත්වයක් නොවීය.

            පිරිමින් වැඩි වශයෙන් සිටි කණ්ඩායමට අයත්ව සිටියේ කාන්තාවන් දෙදෙනෙකි. ඒ ශ්‍රී ලංකාවේ නදීකා හා ස්පාඤ්ඤයේ සොරායාය. මා ශ්‍රී ලාංකිකයෙකු බව දැනගත් නදීකා මෙන්ම ඉන්දීය ජාතිකයින් දෙදෙනාද සතුටට පත් වූ බව පෙනිණ.

            අධ්‍යාපනික සංචාරය යෙදී තිබුණේ වැඩසටහනේ අවසාන අංගය ලෙසිනි. සමහරු එදිනම රැයේ ආපසු සිය රටවලට ගුවන්ගත වීමට නියමිතව තිබූ හෙයින් ඒ අය අතර කිසියම් නොසන්සුන් බවක්ද දිස් විය. නදීකා, ඉන්දියන් ජාතිකයින් දෙදෙනා සහ තවත් කීපදෙනෙකුට ගුවන් ගමන් යෙදී තිබුණේ පසුවදාටය.

            කණ්ඩායම පිළිගනිමින් කෙටි හැඳින්වීමක් කළ මා පැවසුවේ මගේ මුල් නම පමණි. “මම ශ්‍රී ලංකාවෙන් අසංක”. මා අනුව යමින් අන් හැමෝම තමන් හඳුන්වා දුන්නේ තම මුල් නමිනි. “මම නදීකා..ශ්‍රී ලංකාවෙන්..”

            “බොහොම අගෙයි..මගේ මව් රටේ කෙනෙකුත් මෙතැන සිටීම ගැන සතුටුයි. එපමණක් පවසා මා මගේ රාජකාරිය ආරම්භ කළේ ඇය සමඟ පසුව විස්තර කතා කරගන්නෙමැයි අදිටන් කර ගෙනය.

            තමන් උපන් රටේ කෙනෙකු විදේශයකදී පුණගැසුණු විට ගම් පළාත්, උගෙන ගත් පාසල් හා විශ්වවිද්‍යාල යනාදී කරුණු ගැන විමසීම අපගේ සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. ඒ ඒ තැන් වල තමන් දන්නා හඳුනන අය ඇත්නම් සිහිපත් කිරීමද නිරායාසයෙන් සිදු වන්නකි.

            ඒ අනුව යමින් මග පෙන්වීමේ කටයුතු අවසානයේ පැවැති සුහද සාදයේදී මම නදීකා සමඟ කතා බහකට පෙළැඹුණෙමි.

            “නදීකගෙ ගම් පළාත් හෙම?”

            “කෑගල්ලෙ...”

            “එතකොට ඉස්කෝලෙ ගියෙ?”

            “මහනුවර මහමායා”

            ඇය වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ බව පැවසුවාය. මට එකවරම සිහියට ආවේ මගේ නැගණියයි. මා පැවසූ තොරතුරු වලට අනුව වෛද්‍ය විද්‍යාව හැදෑරූ මගේ නැගණියට වඩා ඇය වසරකින් කණිෂ්ඨ බවත්, දුලීකා නමැත්තියක විශ්වවිද්‍යාලයේදී ඇයට මුණ ගැසී නැති බවත් නදීකාගේ අදහස විය.

            “මෙඩිසින් කරපු අය වැඩිය එළිපහළියට එන්නෙ නැහැනෙ...ඇරත් කී දාහක් ඉන්නව කියලද..” යනුවෙන් පැවසූ ඇය නිකමට මෙන් අපේ වාසගම විමසුවාය. “සමහරුන්ව දන්නෙ සර්නේම් එකෙන්නෙ..”

            “දුලීකා හෙන්නායක”

            මා එසේ පවසනවාත් සමඟ සුදුමැලි වී ගිය නදීකා බයබිරාන්ත වූවාය. ඇගේ දෙතොල් වෙව්ලන්නට විය. ඇය නොදැනීම පියවරක් පසුපසට ගත්තේ භයානක පුද්ගලයෙකු ඉදිරියේ ආරක්ෂිත පියවරක් ගන්නවා සේය. සිහිල් දේශගුණය මධ්‍යයේ වුවද ඇගේ නළලතට ඩාබිඳු නැගිණ.

            “අසංක කිව්වනෙ නම..මේ එතකොට අසංක හෙන්නායක? කළම්බු කැම්පස් ඉගෙන ගත්තෙ?” වෙව්ලුම් ස්වරයෙන් විමසූ නදීකා මා හිස සොලවා අනුමත කරනවාත් සමඟ යළි පියවරක් ඉදිරියට විත් මගේ සුරතින් අල්ලා ගත්තේ නොවැටී සිටින්නට ආධාරකයක් කරගන්නට මෙනි.

            ඇගේ අත්ල සීතල වී ලිබිණ.

කිසිවක් අදහාගත නොහැකිව මම ඇගේ දෑස් දෙසම බලා සිටියෙමි. සීතල අත අත් නොහැර දැඩි කොට අල්ලා ගතිමි.

“මේක හීනයක්ද...?” මොහොතකට පසු ඇය වචන ගලපන්නට උත්සහ කළාය.

පාඨකය කමන්න ! මා මෙතැනදී මද විරාමයක් ගත යුතුය. ඇය ඊළඟට පැවසූ දෙයින් පසු අතීත මතක රූපාවලියක් චිත්‍රපටයක් සේ මගේ මනසේ දිග හැරෙන්නට විය.

ඇය, නදිකා වීරසූරිය මගේ නිර්නාමික පෙම්වතියයි.

අතීත කතාව

            විදුනැණ පුවත්පතට මා යැවූ ප්‍රහේලිකා විසඳුම නිවැරැදි වූවා පමණක් නොව ඊට අදාළ ත්‍යාග මුදලද මට හිමි විය. ජයග්‍රාහකයා ලෙස සරත්ගේ නම හා අපේ බෝඩිමේ ලිපිනයද පුවත්පතේ පළ විය. සතියකට පමණ පසු පුවත්පතේ නම සඳහන් කවරයක බහා සරත්ගේ නමට ලියාපදිංචි තැපෑලෙන් මුදල් ඇණවුමක් එවා තිබිණ.

            “යකෝ උඹ ප්‍රහේලිකාත් පුරවනවද ? “

            “නිකමට හිතිල යැව්ව. නංගි පත්තරේ ගන්නවනෙ”

            “ඉතිං මගෙ නම දැම්මෙ ඇයි? උඹේ නම යවන්න තිබ්බනෙ”

            “දිනුවොත් නම පත්තරේ යන හංදා මට ලැජ්ජ හිතුණා.”

            “ උඹ තමයි දවසකටවත් මිනිහ..එතකොට මගෙ නම පත්තරේ ගියාට කමක් නැහැ. හරි..හරි.. මේ සල්ලි වලින් පාටියක් ඕනේ..” සරත් කිව්වේ තරහටත් එක්කය.

            ඒ සමඟම සරත්ගේ නමට තවත් ලිපියක් ලැබිණ. එහි ලිපිනය ලියා තිබුණේ ගැහැනු ළමයෙකුගේ වන් ලස්සන වටකුරු අත් අකුරිනි. සරත් ලිපිය විවර කළේ “මට මෙච්චර ලස්සන අත් අකුරෙන් ලියුමක් එව්වෙ කවුද බලමු ....නංගිලාගෙ අත් අකුරුත් මෙච්චර ලස්සන නෑ...” කියමිනි.

            ඒ ලිපිය ලියා තිබුණේ මහනුවර මහමායා විදුහලේ උසස් පෙළ හදාරන දයානි නම් වූ පාසල් ශිෂ්‍යාවකි. එහි ආපසු ලිපිනය ලෙස සඳහන් වූයේ මුල්ගම්පොළ බෝඩිමක ලිපිනයකි. එම බෝඩිමේ නැවතී මහමායා විදුහලට යන සිසුවියන් තිදෙනෙකු වෙනුවෙන් දයානි ලිපිය ලියා තිබිණ. අකුරු පැහැදිලි නිසාත්, හොඳට ලියන්නට ඇති හැකියාව නිසාත් තමන් ලිපිය ලියූවද එහි එන අදහස් යෙහෙළියන් තිදෙනාගේම බවද ඇය සඳහන් කොට තිබිණ.

            එය හුදෙක් තරුණ විසේට ලියූ බව පසක් වූයේ ලියා තිබූ ආකාරයෙනි. අනෙක් දෙදෙනා කියන දේ ලියන්නට ගොස් දයානිගේ ලියවිල්ල විකාර කතා වලින් පිරී තිබිණ. ප්‍රහේලිකාව ජය ගැනීම පිළිබඳ සුබ පැතීම අරමුණ වුවද වැල්වටාරම් ගොඩක් එහි විය.

            “යවමුද උත්තරයක්...?” මම සරත්ගෙන් ඇසුවෙමි.

            “අනේ ඔය හුජ්ජ කෙල්ලො...මට ඕවට පිස්සු නෑ..උඹට ඕනෑ නං ලියා ගනිං..ප්‍රහේලිකාව දිනුවෙත් උඹනෙ”

            දයානිගේ නමට පිළිතුරු ලිපියක් යවමින් මම සත්‍ය සිදුවීම සඳහන් කළෙමි.

            හැරෙන තැපෑලෙන් පිළිතුරු ලැබිණ. ඇය පවසා තිබුණේ එවර ලිපිය ලියන්නේ ඇය තනිවම බවය. පිළිතුරු ලියන බව අනෙක් මිතුරියන් දෙදෙනාට නොපවසන බවය. ගණිතය උගෙන ගන්නා ඇයට එම විෂයය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා ආයෙකු හඳුනාගන්නට ලැබීම සතුටට කරුණක් බවද එහි වැඩිදුරටත් සඳහන් කොට තිබිණ.

            එය ඉතා ප්‍රවේශමෙන් නිසි පිළිවෙළකට ලියූ ලිපියකි. වැරැදි වැටහීමක් ඇති කර ගැනීමට කිසිදු ඉඩක් තබා නොතිබුණු ලිපිය අවසන් කොට තිබුණේ දයානි නංගී කියාය. ඒ සමඟ උසස් පෙළ ගණිත ප්‍රශ්නයක් විසඳා දෙන ලෙසද ඉල්ලීමක් කර තිබිණ.

            අප අතර ලිපි හුවමාරු වීමේ ආරම්භය එය විය. මම ඇයට තැපෑලෙන් ගණිත ප්‍රහේලිකා විසඳා දෙන්නට පටන් ගත්තෙමි. සැබැවින්ම අධ්‍යයන කටයුතු මැද ලිපියක් ලිවීම මා අතපසු නොකළේ එවන ගණිත ප්‍රශ්න විසඳා යැවීම මගේ වගකීමක් බවට නිරායාසයෙන් පත් වී තිබුණු බැවිනි.

            දයානිගේ නංගී ලෙස වූ හැඳින්වීම හැලුණේ තුන්වන ලිපියේදීය. ඉන් පසු ඇය දයා විය. මා ඇමතීමේදී අසංක අයියා යන්න වෙනස් නොවූවද මුලට හිතාදර වචනය එක් විය. එක් ලිපියක අවසානයේ ඉතා කුඩා මල් කිනිත්තක් අලවා තිබිණ.

            ඊළඟ ලිපිය අවසන් කොට තිබුණේ “කුරුටු ගෑ ගී පොතේ...කුරුටු ගී කෑ ගසා...” යනුවෙන් නන්දා මාලිනී ගැයූ ගීතයක මුල් පද සඳහන් කරමිනි.

            දයානි නොදුටු මා පිළිබඳ ආශක්ත බවක් ඇති කරගෙන තිබෙන බව මට පැහැදිලි විය. මේ බව මගේ මිතුරා සරත්ට හෝ නොපවසන්නට මා වග බලා ගත්තේ ඇය ඒ වන විට පාසල් ශිෂ්‍යාවක නිසාය. හොඳින් විභාගයට පාඩම් කර විශ්වවිද්‍යාල වරම් ලබා ජීවිතය ජය ගන්නා ලෙස මම ඇයට අවවාද කළෙමි. හැකි පමණ ඇගේ අධ්‍යාපනයට රුකුල් දුනිමි.

            ඊළඟ වසරේ විශ්වවිද්‍යාලයට ආ මානවිකාවක සමඟ මා ප්‍රේමයෙන් බැඳුණේද, අප බෝඩිම මාරු කළේද මේ අතරවාරයේය. අලුත් බෝඩිමේ මා නැවතුණේ තනිවමය. ඒ නිදහසට මම ප්‍රිය කළෙමි. කාලයත් සමඟ දයානි මගේ සිතෙන් ඈත් වූවා විය යුතුය.

            බෝඩිමෙන් නික්මී ගොස් මාස කීපයකට පසු වෙනත් ගමනක් යන අතරවාරයේ මට ඒ ගෙදර අය මුණ ගැසී කතාබහ කිරීමට මට සිතක් පහළ විය. මගේ නමින් එවා තිබූ ලිපි දෙකක් ඒ අතර විය. එක් ලිපියක් කවරයේ වූ අත් අකුරින්ම මම එක වරම හඳුනා ගත්තෙමි.

            දයානිගේය. එහි සුපුරුදු අදහස් විය. දයාගේ අත්සන අසලින්ම මල් කිනිත්තක්ද අලවා තිබිණ.

            අනෙක් ලිපිය ලියා තිබුණේ දයානිගේ මිතුරියකි. ඇය සමඟ එකම බෝඩිමේ සිටි මහමායා විදුහලේ එකම පංතියේ සිටි මිතුරියකි.

            එය නිර්නාමික පෙම්වතියකගේ ප්‍රේමනීය ලිපියක් විය. ඇය දයානි සමඟ කෝපයට පත්ව සිටියාය. විදුනැණ පුවත්පතේ ප්‍රහේලිකාව ජයගත් හට ලිපියක් යවන්නට යෝජනා කොට තිබුණේදයානිගේ මෙම යෙහෙළියයි. එහි තිබූ බොහෝ අදහස් ඇයගේය.

            දයානි මට රහසින් ලිපියක් ලියූ බව ඇය දැනගෙන තිබුණේ සෑහෙන කාලයකට පසුවය. මා දයානිට යැවූ ලිපියක් අනෙකුන්ගේ නෙත ගැටීමෙන් අනතුරුව සියල්ල හෙළිදරව් වී තිබිණ. එය ඔවුන් අතර නොහොඳ නෝක්කාඩුවක් ඇති වීමටද හේතු වූ බව නිර්නාමික පෙම්වතිය සඳහන් කොට තිබුණාය.

සමාප්ති කතාව

ඇගේ ලිපියේ වූ එක් වාක්‍යයක් අදද මට මතකය.

“මා ඔබේ ජයග්‍රහණය තුළින් ඔබව හඳුනා ගත්තෙමි. අන් අය මා තුළින් ඔබව හඳුනා ගෙන ඇත.”

පිරිස විසිර යාමට පෙර පැවැති සමුගැනීමේ සාදයෙන් පසුව සන්ධ්‍යාවේ ජිනීවා විලේ බෝට්ටු සවාරියක යෙදෙමින් මම ඒ වාක්‍යය නදීකාට සිහිපත් කොට දුන්නෙමි. මගේ මතකය ගැන ඈ විශ්මයට පත් වූවාය. ඒ ලියුම තවමත් ලංකාවේ මගේ පරණ මතක අතරේ රැඳී තිබෙන බවත්, පසු අවස්ථා කිහිපයක අහම්බෙන් ලිපිය නෙත ගැටුණු විට යළි යළිත් කියැවූ බවද මා පැවසුවේ අවංකවමය.      

            වැඩියෙන් රෑ බෝ නොවී ජිනීවා නගරයේ ඇවිද ගොස් ඇය නේවාසිකව සිටි සර්න්හි නවාතැනට ගෙනැවිත් හැරලන පොරොන්දුව පිට මා නදීකා සමඟ නගරය බලා පිටත් වූයේ ඇගේ කතාවට නිවී හැනහිල්ලේ සවන් දීමටය.

            “ මගේ මහත්තයටත් මං ඔයා ගැන කියලා තියෙනවා. එයා හිනාවෙනව කෙල්ලන්ගේ පිස්සු වැඩ කියල. ඒත් ඒක පිස්සුවකට වැඩි එහා ගිය හැඟීමක්. ඔයාගෙ නම ඇහුණ හැටියෙ මාව ගල් ගැහුණෙ ඒ හැඟීම තාමත් හිතේ හොල්මන් කරන හංදයි කියල මට හිතෙනව. කවදහරි ලංකාවට ගියාම අපේ ගෙදර ඇවිත් යන්න එන්න.” මගේ අතින් අල්ලාගෙන ඇය කියවා ගෙන ගියාය.

            මුළු ගමන පුරාම ඇය මගේ අතින් අල්ලාගෙන සිටියාය. මොහොතකට මට හැඟුණේ අප නුවර වැව රවුමේ ඇවිද යනවා මෙනි. අප දෙදෙනාම අපට උරුම නොවූ ඒ අතීතයට මොහොතකට ගොඩවැදී සිටියා වැන්න.

-         හෙන්රි වර්ණකුලසූරිය               

 

1 comment:

  1. "සියල්ල අහම්බයන්ය" කතාවේ ගුවන් තොටුපලේ හමුවීම මතකයට ආවා මේ කතාව කියවන කොට. මෙකත් අහම්බයක් නේද?

    ReplyDelete