Monday 1 February 2016

ගියා වාගෙම එන්න...!


අනේ අර අතන ඇති
කිහිලිවාරුව ගන්න
මං නිදන බූරු ඇඳ
ළඟින් එය රඳවන්න
පොඩි එකී පංපැදුරෙ
හාමතේ නිදි ඔන්න
කිරි නැහැනෙ-කහට තේ
හදල තියලා යන්න...

ඔය මූණෙ වැඩි පුයර
එන්න පිසදාලන්න
මා ළඟින් ඉඳගන්න
ඔය සුවඳ විඳගන්න
උදේ ආ විලසින්ම
හිස් අතින් නොම එන්න
රාග නෙත් ගිනි ගන්න
මහ මගටවත් යන්න...

ගොම්මනේ අඳුර මැද
හෙමින් පා ඔසවන්න
වීදියේ පහන් කණු
එළිය යට සැඟවෙන්න
සීරුවට මාරුවට
කොයි දේත් කරගන්න
එළිවෙන්න පෙර ඇවිත්
මා ළඟින් සැතපෙන්න...


-හෙන්රි  වර්ණකුලසූරිය
2015 ජනවාරි 31

8 comments:

  1. Replies
    1. ස්තූතියි. හදිසියෙම ලියැවුණා.

      Delete
  2. //වීදියේ පහන් කණු
    එළිය යට සැඟවෙන්න//

    හෙන්රි සහෝ මේ ලියැවිල්ල සුපිරියි.....

    ReplyDelete
  3. තම බිරිඳගේ සිරුරට මිලක් නියම කරන්නට සිදුවන සමාජයේ වඩාත් පීඩිත සැමියෙකුගේ ඛේදවාචකය හරිම සංයමයකින් කවි කරලා.

    ReplyDelete
    Replies
    1. එදා ඉදන්ම විටින් විට මේ මාතෘකාව නිර්මාණවලට පාදක වුණාට මාත් වඩා කැමති මේ කවියට.

      Delete
  4. මට කමල් ජෝ ඩිලානි රගපාපු පිල්මක් මතක් වුණා.. නම නං මතක නෑ..
    ඩිලානි පෝසත් කමල් ඩ්‍රයිවර් දෙන්න පැනල යනව. ජීවත් වෙනව අමාරුවෙන් උදව් කරන්නෙ ජෝ. දවසක් කමල් හැප්පෙනව ඩිසේබල් වෙනව කරන්න දෙයක් නැති කමට ජෝ ගෙ යෝජනාවකට ඩිලානි ගණිකාවක් වෙනව.
    ඊට පස්සෙ වෙන දේ මට හරියටම මතක නෑ. නමුත් ඒක ටිකක් විතර යතාවට සමීප ෆිල්ම් එකක්.

    අපූරු කවිය හෙන්රි

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක නම් බලල තියෙනව. ඒත් නම මතක නෑ.
      කවිය අගය කළාට ස්තූතියි.

      Delete