Tuesday 23 January 2018

කම්පාව


වසරකට වරක් එළැඹෙන
පවුලේ සුහද හමුව මෙතැනය
පරම්පරා තුනක් එකවිට
අල්ලාප සල්ලාපයේ යෙදෙන
බෝතල් මූඩි ගැලවෙන......

"විසූවියස් කන්ද පාමුළ"
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ මලයා සපැමිණ 
වර නගයි ෂූටිං එඩිටිං ගැන
"කූඹියන්ට" පසුව පෙන්නන...

ජැෆ්නා යුනිවර්සිටියෙ දියණියක
දොඩයි මෙඩිකල් ෆැකල්ටි රුව ගුණ
හොස්ටල් අත්දැකීම් එක්කම 
සීනියර්ස්ලා දෙන පුංචි රැග් ගැන..

ඇනිමේෂන්, ත්‍රී ඩී ග්‍රැෆික් ඩිසයින්
ඕටම්න් ලේන් කොම්පැනි
පුතා විස්තර කරයි සැමටම
සිංහල සිනමාවේ අහුමුළු ගැන...

මල්ලිගෙ දුවගෙ වගතුග
කැම්පස් යන්න තේරුණ
සෞන්දර්ය කලා පීඨය
සංගීතයට මුල්තැන...

එයාගෙ මල්ලී තවමත් 
තරඟයෙ යෙදී දුවමින
මොලික්‍යුල බයලොජි කරන්නට 
දැන් තබා පෙරුම් පුරමින...

එස්.ටී.එෆ්. විකුම් වපුරන
ඥාති මලයෙක් කියවයි
දරුණුම යුද්ධෙ පම්පෝරිය
දිව පැටලෙනා අතරම...

ගැහැණුන් පිරිස තැන තැන
ෂැම්පේන් වඩිද හිස්වෙන
ඕපාදූප සංගම
සාලෙන් පිටත රැව් දෙන...

මම රකිමි මුනිවත
වෙනදා පරිදි පසෙකින 
බලමින් අනුන් වගතුග
දුටුවෙමි මාව නුදුරින..
තව වසර විස්සක් තිහක්
ජීවත් වුණොත් මෙලෙසම 
මට වෙන්නෙ ඒ ටික
තාත්තා සිටී හරිමැද 
හිඳවූ අසුන මත
කිසිවක් සිතාගත නොහැකිව
මොනවාදෝ මුන් කියවනා අපබ්‍රංශ...

හෙන්රි වර්ණකුලසූරිය






No comments:

Post a Comment