Sunday 10 January 2016

ප්‍රත්‍යස්ථ සීමාව


මා මේ ලියන්නේ ඔබට කියවන්නටය.

එහෙත් ඔබ කවුරුන් දැයි මා දන්නේ නැත. දැන ගන්නට ලැබෙන්නේද නැති බව ඒකාන්තය. එක්කෝ මෙය ඔබ අතට පත් වෙනු ඇත. නැත්නම් ඊට පෙර මෙය මා විනාශ කරනු ඇත.

මට එහි විශේෂත්වයක් ද නැත. කියවන්නේ කවුරුන් දැයි මට වැදගත් නැත. මට අවශ්‍ය වන්නේ මෙහි වෙසෙන කවර හෝ ප්‍රාණියෙකුට මේ කතාව ලියන්නට හේතුව පැවසීම පමණකි.

මා එසේ පවසන්නේ තව දුරටත් මගේ වන කිසිවකුත් මේ බිමේ නොසිටන බැවිනි. මගේම නොවුණත් මා ගැන සොයා බලන්නට හෝ කෙනෙකු නොමැති බැවිනි.

මේ වාලූකා කාන්තාරයේ කවුරුන් නම් මා ගැන කරදර වෙන්නද?
වැඩිම වුණොත් කිසිදු ප්‍රතිලාභයක් නොපතන, කොන්දේසි විරහිතව මට ප්‍රේම කරන, මගේ දුක සැප සොයා බලන්නට ඉඩක් ලද වහාම දුරකථනයෙන් මා අමතන ඇය, මට සිදු වූයේ කුමක් දැයි කම්පාවට පත්වන බව පමණක් මම දනිමි. මං ළඟ හිටිය නම් මේ දේ වෙන්න දෙන්නෙ නෑ කියමින් ඇය අකම්පාල වන බවද දනිමි.

එහෙත් ගෙවී ගිය වසරක කාලය තුළ මා පෙළෙන වේදනාව බෙදා හදා ගත් බැවින් මේ තීරණය ගැනීමට මා පෙළැඹ වූ මානසිකත්වය ඇය තේරුම් ගනු ඇත.

බාලවියේදීම දෙමාපියන් මිය පරලොව ගිය පවුලේ එකම දරුවා වූ මා ගැන මව් බිමේ සිට නිරන්තරයෙන් විමසන්නට වෙනත් සමීප ඥාතියෙකු, හිතවතෙකු නැති තරම්ය.

මේ කාන්තාර බිමේ වුවද තට්ටු නිවාසයක හත්වන මහලේ හුදකලා නිවසක වෙසෙන මා ගැන පළමුව විමසනු ඇත්තේ කාර්යාලයීය මිතුරන්ය. ඒ ද දින තුනකට පසුවය. මන්ද යත් හෙට එළැඹෙනු ඇත්තේ සති අන්ත නිවාඩුව බැවිනි.

ඉන් අනිද්දා මා රාජකාරියට වාර්තා නොකිරීම ගැන ඔවුන් විමසිලිමත් වනු ඇත්තේ දවසේ කටයුතු ආරම්භ වී පැය කිහිපයකට පසුවය.
මගේ අසුනට පසෙක වූ මේසේ හිඳ සිටින බැසිල් පළමුව විමසිලිමත් වීම ස්වභාවිකය.

මොකද දන්නෙ නෑ... කුලේ අද තාම නැහැ......

බැසිල්, සුමේධගේ කාමරයට ගොස් පවසනු ඇත.

ඊයේ පාටියකටවත් ගිහින් පාන්දර වුණාද දන්නෙ නැහැ............. තව ටිකක් ඉඳල call එකක් දෙමු

සුමේධ පරිගණක තිරයෙන් දෙනෙත් ඉවතට නොගෙනෙම පවසනු ඇත්තේ උදේ පාන්දරින් ලංකාවේ gossip ටිකක් ඔලුවට දමා ගැනීමට බාධා කිරීම ගැන නුරුස්සාවෙන් විය හැකිය.

“Why Kule late…. Normally he use to call, if getting delay” පෝල්, ඉන්දියානු සගයා බැසිල්ට පවසනු ඇත්තේ උදේ අට පසුවන විටය.
පරිගණකය සමඟ හැප්පෙමින් සිට දුම්වැටියක් උරන්නට පහළට යන ගමන් සුමේධ කාමරයට හිස පොවනු ඇත. කුලේ තාම ආවෙ නැද්ද?
ඔහු මෙවර නම් මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගන්නවා නිසැකය.

දුරකථනය ක්‍රියා විරහිත කොට නොතිබුණොත් දිගටම එය හඬ නංවනු ඇත. නැත්නම් ප්‍රතිචාරයක් නැති බව කියමින් පටිගත කළ කාන්තා කට හඬකින් කියැවෙන නිවේදනය පළමුව අරාබි බසින්ද, දෙවෙනුව ඉංග්‍රීසි බසින්ද වාදනය වනු ඇත.

මගේ ජංගම දුරකථනය බැටරි බැස ක්‍රියා විරහිත වනු තුරු එසේ තිබෙන්නට හරිනවාද? නැතිනම් දිගටම charge වන ලෙසින් චාජරයට ගසා තබනවාද? නැතිනම්  ක්‍රියා විරහිත කරනවාද යන්න තව මොහොතකින් තීරණය කළ යුතුය.

හොඳ පදමට වදින්නට පෙර මේ තීරණය ගත යුතුය. නැතිනම් දුරකථනය තිබුණු තැන ඔහේ තිබෙනවා ඇත.

පදමට වදින්නට පානය කළ යුතුතේ කුමන රහමෙරක්ද?

Chivas Regal, Jack Daniel’s, Bacardi , Smirnoff දැනටමත් දිසිලි දිසිලී බලා සිටින්නේ ගණිකා නිවාසයක පෙරෙට්ටුවකට සිටින සුන්දර පෙනුම ඇති කාන්තාවන් පරිද්දෙනි.

මා මේ තීරණය ගත යුතුද?

දවස් කීයක් නම් එහාට මෙහොට කල්පනා කරලද දැනට මාස ගණනාවකට කලින් මේ තීරණය ගත්තේ. අද උදා වෙමින් තිබෙන්නේ ඒ නිශ්චිත දවස නොවේද?

හරියමට අවුරුද්දක් පිරෙන දවස.

මට මගේ ජීවිතය නැති වී අවුරුද්දක් පිරෙන්නේ අදය. නැති වූ ජීවිතය යළි මා සොයා එතැයි පෙර මඟ බලා සිටිමින් ගත වූ වසර මට කිසිසේත්ම කාරුණික වී නොමැත.

විටෙක මේ හැම දෙයක්ම සිහිනයකැයි මට සිතේ.

සියල්ල සිහිනයක්ම වෙනවා නම් මට තව දුරටත් ජීවත් වීමට ශක්තිය ලැබෙනු ඇත. එහෙත් එය එසේ නොවන කල.....

ජීවිතයක් නොමැති පංචස්කන්ධයක් වසරක් පුරා මෙලොව හුදකලා ජීවිතයක් ගත කොට ඇත.

මොන අපභ්‍රංශයක් ද මේ...... මොනවද මං මේ ලියන්නේ..... ජීවිතය නැතිව ජීවත් වීම..?

මහාචාර්ය මලියදේව විශ්වවිද්‍යාලයේදී ඉගැන්වූ ප්‍රත්‍යස්ථ සීමාව මට සිහිපත් වේ.

යම් ලෝහ කම්බියක් ඒකාකාරී භාරයකට නතු කළ විට එහි ප්‍රත්‍යස්ථ පරාසය  කෙමෙන් පසු කොට ප්‍රත්‍යස්ථ සීමාවට ළං වේ. ඊළඟට එළැඹෙන්නේ ඉතා කෙටි එහෙත් අප්‍රත්‍යස්ථ පරාසයයි. ලෝහය දෙකඩ වී වෙන් වන්නේ මේ අප්‍රත්‍යස්ථ පරාසයේද තව දුරටත් භාරයට නතු වුවහොත්ය.

මගේ මනසද, ජීවිතයද ප්‍රත්‍යස්ථ සීමාවට ළඟා වී ඇති බව නිසැකය. තව දුරටත් මේ ජීවිතය ඇද ගෙන යා නොහැකිය. දැන් එළැඹෙනු ඇත්තේ අප්‍රත්‍යස්ථ පරාසයයි.මානසිකවද, ශාරීරිකවද දෙකඩ වීමට තව හෝරා කීපයක් ගත වනු ඇත.

වැල්වටාරම් ලිව්වා හොඳටෝම ඇතිය.

පුතා මගේ ජීවිතය වූයේ ඔහු ඉපදුණ දවසේමය. එදා පටන් ගෙවී ගිය වසර විසි එකක් මා ජීවත් වූයේ ඔහු වෙනුවෙනි.

විසල්ගේ උපතත්, ඔහුගේ අම්මාගේ වියොවත් එකම දවසක සිදු වූ බව පමණක් මෙහි ලා සටහන් කිරීම ප්‍රමාණවත්ය.

ඉන් අනතුරුව එළැඹි කටුක වූද, දුෂ්කර වූද, එහෙත් යළි යළි සිහිපත් කරන විට අතිශය සුන්දර වූද කාල වකවානුව ජය ගන්නට මා ගත් වෙහෙස ලියන්නට කාලය මිඩංගු නොකරමි.

කෙමෙන් කෙමෙන් උස් මහත් වන දරුවෙකුගේ හුරතල් හැසිරීම් රටාද, රුචි අරුචිකම්ද, විඳිමින් මගේ ජීවිතයේ ගලා යාමට නැවතීමේ ලකුණ තබා වසර දහ අටක් අවසාන වූයේ ඔහුගේ අනාගතය වෙනුවෙන් තීරණයක් ගන්නට බල කරමිනි.

හැකි සෑම විටම වඩා මම ඔහුට අම්මා වන්නට උත්සාහ කළෙමි. තාත්තා ලෙස හැසිරෙනවාට වඩා අම්මා ලෙස සමීප වීම වඩාත් ගෝචර යැයි කල්පනා කළෙමි.

මගේ ජීවිතයට එබිකම් කළ මා සමග ජීවිතය බෙදා ගන්න සූදානම් වූ කිසිදු කාන්තාවකට ඒ සඳහා ඉඩක් නොවූයේ විසල් මගේ ජීවිතය බවට පත් වූ බැවිනි.

මට මිතුරන් ඇසුරු කරන්නට වෙලාවක් නොවීය. ඥාතීන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට කාලයක් නොවීය. කාර්යාලයේ පවා අමතර වේලාවක් නොරැඳෙන්නට මම වගබලා ගත්තෙමි.

අවසානයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා මැලේසියාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළු වන්නට අවශ්‍ය තොරතුරු සොයා ගත්තේද විසල්මය. එය ඔහුගේ ඒකායන පැතුම වූ විෂයය ක්ෂේත්‍රයක් වූ බැවිනුත්, ලංකාවේ එම විෂයය පිළිබඳ අධ්‍යාපනයක් නොමැති බැවිනුත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීම මගේ යුතුකමකටත් වඩා ආත්ම තෘප්තිය ඇති කරවන ප්‍රබෝධජනක ව්‍යායාමයක් විය.

හරියටම දහඅටවන වියට එළැඹීමත් සමඟ ඔහුට මැලේසියාවේ සයිබර්ජයා විශ්වවිද්‍යාලයට ඇතුළුවීමේ වරම් ලැබිණ.

මීට පෙර මගේ ජීවිත කාලය තුළ මා වඩාත්ම කම්පාවට පත් වූයේ විසල් සයිබර්ජයා විශ්වවිද්‍යාලයේ නවතා සති දෙකක් පමණ ඔහු සමඟ ගතකොට ඔහු තනිකොට ආපසු පැමිණෙන දිනයේය.

මම ඒ දින ගණනාව ඔහුගේ සගයන්ගේ අවසරය මත ඔවුන් නැවතී සිටි නේවාසිකාගාරයේ කුඩා සාලයේ ගත කළෙමි.

ඇත්තෙන්ම දිවා කල විශ්වවිද්‍යාලයේ බඳවා ගැනීමේ කටයතු වලදී මම ඔහු සමඟ සිටියෙමි. ශිෂ්‍යයින් සඳහා හඳුන්වා දීමේ වැඩ සටහන් හෝ දේශන හෝ වෙනත් ක්‍රියාකාරකම් ඇති අවස්ථා වලදී මම ඔහුගේ නේවාසිකාගාරයට පැමිණ පොතක් පතක් කියවමින් කාලය ගත කළෙමි.
හවස් භාගයේ අප දෙදෙනාම ඇවිදින්නට ගියේ ඔහුට රට තොට හුරු වීමට ඉඩ සලසා දීම සඳහාය.

TESCO, ALAMANDA, SUNWAY PYRAMID වැනි සුවිසල් වෙළඳ සංකීර්ණවල අපි ඇවිද්දෙමු.

ක්වලාලම්පූර්, පුත්‍රජයා, මලක්කා, බටුකේව් වැනි පෙදෙස්වල සංචාරය කළෙමු.

දවස් ගත වී ගියේ අපේ ජීවිත වලට නොදැනීමය.

අප දෙදෙනා දෙරටක, දෙතැනක ජීවත් වන්නට පටන් ගෙන දෙවසරක් ගත වූයේ දිනපතාම දවසට එක් වතාවක් හෝ දුරකථනයෙන් සම්බන්ධ වෙමිනි. සතියකට වතාවක්වත් Skype මගින් දෙනොගේ මුහුණුවර දකිමින් තොරතුරු හුවමාරු කර ගනිමිනි. දුක සැප බෙදා ගනිමිනි.

මේ කාලය අතරතුර කීප වතාවක් මැලේසියාව බලා පියාසර කිරීම මගේ දිවියේ අංගයක් වූවා සේම දීර්ඝ නිවාඩු කාල වලදී විසල් ලංකාවට පැමිණ යන්නට අමතක කළේද නැත. ඒ හැම වතාවකම සමු ගැනීමේදී අප එකිනෙකා තරයේ වැළඳ ගත්තේ දෙදෙනා අතර වන ආත්මීය බැඳීම අර්ථවත් කරමිනි.

මා වාලුකා කාන්තාරයේ රැකියාවකට එන්නට තීරණය කළේ ආර්ථික තත්ත්වය ඉහළ නංවා ගැනීමට පමණක් නොව ලංකාවේ වෙසෙමින් ගත කරන හුදෙකලා ජීවන රටාවට වෙනසක් අවශ්‍ය වූයේ යැයි හැඟුන බැවිණි.

ලෝකයේ කොහේ ජීවත් වුවද අප දෙදෙනා දෙතැනක ජීවත් වන්නට ඉරණම් කොට තිබුණා වැන්න.

විසල් සිය අධ්‍යාපනය හමාර කළ පසු ලංකාවේ පදිංචියට ඒමට ඇති ඉඩ කඩ බෙහෙවින් සීමා සහිත බව මම ප්‍රත්‍යක්ෂ කොට ගත්තෙමි.

දෙවසරක් අවසානයේ ලැබුණු මාස දෙකක නිවාඩුවට ලංකාවට එන්නට විසල් තීරණය කළේ මගේ ඉල්ලීම මතය. මටද වර්ෂාවසානයේ දීර්ඝ නිවාඩුවක් ලබා ගැනීමට අවස්ථාව සැලසී තිබීම ඊට හේතුවයි.

නිවාඩුව ගත කරන ආකාරය පිළිබඳ අපි දවස් ගණනාවක් තිස්සේ කතා බහ කොට තීරණය කළෙමු. මීළඟට එළැඹෙන අවසාන වසර විසල් බෙහෙවින් අවිවේකී වන බව අපි දැන සිටියෙමු. සමහර විට ඒ වසර තුළ තමන් මැලේසියාවෙන් පිටතට නොයනු ඇති බව ඔහුගේ අදහස විය.
මම ලංකාවට ගොස් එන්නට ගුවන් ටිකට් පතක් කල්තබා වෙන්කොට ගත්තෙමි.

විසල්ටද ලංකාවට පැමිණ ආපසු යන්නට මැලේසියානු ගුවන් යානයක අසුනක් වෙන් කොට ගත්තේ මා ලංකාවට ගොස් දින දෙකකින් ඔහුට පැමිණෙන්නට හැකි වන පරිදිය.


            *                                  *                                  *


මිනිසෙකුගේ ජීවිතේ අරමුණු බිඳ වැටීමටද අපේක්ෂා භංගවීමටද ගත වන්නේ එක් නිමේෂයකි. ඒ ගැන කියන්නට මීට වඩා තවත් කවර නම් උදාහරණයක් ගැලපේද?

තමන් නේවාසිකාගාරයේ සිට කුලී රථයකින් ක්වලාලම්පූර් ගුවන් තොටුපොළ වෙත පිටත් වන බව විසල් පවසන තුරු මම නින්දට නොගොස් රූපවාහිනී තිරය නරඹමින් සිටියෙමි.

ගුවන්තොටුපොළට පාන්දරින් යායුතු බැවින් පැය කිහිපයක නින්දක් ලබා ගැනීමට අවකාශ තිබිණ. ගුවන් යානය පිටත් වන්නට පෙර විසල් නැවත ඇමතුමක් දෙන බව මම පුරුද්දෙන් දැන සිටියෙමි.

ජංගම දුරකථන ක්‍රියාවිරහිත කරන ලෙස නිවේදනය කිරීමත් සමඟ විසල් මා ඇමතූ හෙයින් ගුවන් යානය කිසිදු පමාවකින් තොරව නියමිත වේලාවට ගුවන් ගත වන බව වටහා ගත් මම ඉක්මන් සුව නින්දකට වැටුණෙමි.

උදෑසන හය වන විට ගුවන් තොටුපොළ වෙත ළඟා වූ මම මගී පර්යන්තයේ රැදී සිටියේ කාලය ගත වන්නේ ඉබි ගමනින් බව සිතමිනි.

මිනිත්තුවෙන් දෙකෙන් මා යළි යළිත් වේලාව බැලුවා නිසැකය.
ගුවග් තොටුපොළ ඇතුළේ සිට මගීන් පිටතට එන ද්වාරය දෙස ඇසිපිය නොහෙලා මා බලා සිටියද විසල්ගේ රුව මතු වූයේ නැත.

ඔහුගේ වයසේ තරුණයන් කිහිප දෙනෙකුටම මේ එන්නේ විසල් යැයි ඈත තියා මම රැවටුණෙමි. මා හිඳ සිටි අසුනෙන් නැගිට කිහිප වරක්ම ඉදිරියට ඇවිද ගියා මතකය.

ගුවන්යානය කීයට ළඟා වූයේද, නැතිනම් තාමත් ළඟා වී නොමැතිද කියා විද්‍යුත් තිරයෙන් පරීක්ෂා කළ යුතු යැයි මට සිහිපත් වූයේ සෑහෙන වෙලාවකට පසුය.

මැලේසියාවේ සිට පැමිණෙන ගුවන්යානය පමා වන බව තිරයේ සටහන් විය.

කුමක්ද මේ පමාව? නියමිත වේලාවට පිටත් වූ පසු ගුවන් යානයක් මෙතරම් පමා වීමට විශේෂ හේතුවක් නැත. පමාවක් සිදු වන්නේ නම් එය  පිටත් වීමේදීය. එසේ වූයේ නම් විසල් දුරකථනයෙන් මා අමතා ඒ බව නොපවසන්නට හේතුවක් නැත.

සිදූ වූයේ කුමක් දැයි දැන් ඔබ අනුමාන කරනවා ඇත.

ඔව්.............එය එසේ සිදු ව තිබිණ.

මගේ ජීවිතය වූ විසල් පුතා පැමිණෙමින් සිටියේ අද වනතුරු සිදූ වූයේ කුමක් දැයි කිසිවෙකුත් නොදන්නා ගුවනේදී අතුරුදහන් වූ මැලේසියානු ගුවන්යානයේය.

ඒ හරියටම අදට වසරකට පෙරදීය.

ඉන් අනතුරුව ගෙවී ගිය වසරක කාලය මා ජීවත් වූයේ කිසියම් මොහොතක ආශ්චර්යකින් මෙන් විසල් යළි පැමිණේය යන අපේක්ෂාවෙනි.

එහෙත් ගුවන් යානයේ සුන්බුන් හෝ හමු නොවූ , සිදු වූයේ කුමක් දැයි සිතා ගන්නට නොහැකි වූ , කාලයත් සමඟ ඉතිහාසයේ වැළලී යන ඛේදවාචකයක උරුමක්කාරයෙක් වූ මගේ ජීවිතයත් ලෝහ දණ්ඩකුත් අතර වෙනසක් ඇතිද?

සිත කය දෙකම දිනෙන් දින වර්ධනය වන සාංකාවේ භාරයකින් ඇදී යමින් පැවතිණ. ප්‍රත්‍යස්ථ සීමාව වසරක් දක්වා දිගු කොට ගත් මම අද ඒ සීමාව පසු කළෙමි.

දැන් මා සිටින්නේ අප්‍රත්‍යස්ථ පරාසයේය.

මහාචාර්ය මලියසේන ඇඳ පෙන් වූ ප්‍රස්ථාරය මට මැවී පෙනේ. එහි බිඳීමේ ලක්ෂ්‍යයෙන් එහාට ප්‍රස්ථාර රේඛාව ගමන් කරන්නේ නැත.
එතනින් එහා මහා හිස්තැනකි. හිස් අවකාශයකි.


*                                  *                                  *


පියවියත්, මායාවත් අතර දෝලනය වන මගේ සිත තුළ රූපාවලියක් සටහන් වන්නේ නිතැතිනි.

මා වෙසෙන නිවාසයෙන් පිටත දිගු කොරිඩෝරයේ කිසිවකු පා තබන හඬ මට ඇසේ.

ඒ විසල් පා තබන හඬය.

ඒ පියවර තබන්නේ මගේ ජීවිතයය.

මගේ ජීවිතය මා සොයා පැමිණ ඇත. මම නිවසේ දොර විවර කළෙමි.
මට හමු වන්නේ මගේ ජීවිතයයි. මම මගේම ජීවිතය සෙනෙහසින් දැඩි ලෙස වැළඳ ගනිමි. මගේම ජීවිතයේ උණුසුම මට දැණේ. මගේම ජීවිතයේ සුවඳ මම ආඝ්‍රානය කරමි.

මට මගේ ජීවිතය අත හැර දමන්නට නොහැකිය. මම තව තවත් දැඩි ලෙස මගේ ජීවිතය මෙන්ම ලෝකයද වූ විසල් පුතා බදා වැළඳ ගනිමි.

සුපුරුදු පරිදි නම් සති අන්තයට පෙර ඇයගෙන් දුරකථන ඇමතුමක් එන්නට මේ නියමිත වේලාවයි.

පියවිත්, මායාවත් අතර සැරි සරන්නට, ඒ තුළ ජීවත් වන්නට ඇති එකම බාධකය වන ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කොට දමන්නට මේ සුදුසුම මොහොතය.

       -හෙන්රි වර්ණකුලසූරිය



No comments:

Post a Comment