Wednesday 6 January 2016

ඔබ නැතිව ඔබ එක්ක

ඔබ ඉන්න හැම විටම
ජීවිතය දිරි වඩන
ඔබ නොමැති මොහොතකදි
ජීවිතය ඉරි තලන...

තනිකමට ළඟ ඉන්න
දුම්වැටිය ඔබ වෙන්න
සිත පතුළෙ සැඟවෙන්න
මධු බඳුන ඔබ වෙන්න...

ඔබ ඇතුව ඔබ එක්ක
සිටින තුරු සිත දැඩිය
ඔබ නැතුව ඔබ එක්ක
සිටිනු වාවනු බැරිය...

වාලුකා කතර මැද
වැලි කුණාටුව නොවන
ගිනි ගහන අහස යට
සිහිල් දිය පොද වෙන්න...

තනිකමත් පාළුවත්
මොහොතකට නැති වෙන්න
සිහිනයෙන් වත් ඇවිත්
පපුවෙ හිස සතපන්න...

ජීවිතය හඹා එන
මාරුතය නොම වෙන්න
හමන මද පවනක්ව
සිතේ දැවටී ඉන්න.

- හෙන්රි  වර්ණකුලසූරිය 

1 comment:

  1. ජීවිතය හඹා එන
    මාරුතය නොම වෙන්න
    හමන මද පවනක්ව
    සිතේ දැවටී ඉන්න.

    ReplyDelete