Tuesday 5 January 2016

ගැරඬියා

උදෑසන සිටම විටින් විට ඇසෙන ටින් බෙලෙක්කයක් පෙරළෙන, තාප්පයේ ගැටෙන හඬට සිඟිතිගේ නින්දත් කැඩුණා.

ඊට හපන් බල්ලොත් බුරන හඬ. ටින් බෙලෙක්ක සද්දෙත් එක්කම බල්ලො බුරන්නත් පටන් ගන්නවා.

සුනිමල් උදේ ගෙදරින් යද්දිත් ඔය සද්දෙ ඇහෙමින් තිබුණා. පාන්දර අවදි වුණෙත් මේ සද්දෙටම වෙන්න ඕනෙ කියල සිඟිතිට සිතුණා.

සුනිමල් කිව්වෙ බල්ලෙකුගෙ බෙල්ලෙ ටින් බෙලෙක්ක වැලක් ගැට ගහල අහල පහල ලමයින්ගෙ සෙල්ලමක් වෙන්න ඇති කියලයි. ඔය කොලු රැළ ඔහොම අසමජ්ජාති වැඩ කරනවනෙ.

සිඟිතිගෙ කුසට මාස හයකුත් අහවරයි. ඒ නිසාද කොහෙද කඩෙත්තු ගතිය වැඩියි. උදේ කෑවට පස්සෙ ආයෙම පොඩි නිදි මතක් දැනෙන්න ගන්නව. සුනිමල් ෂොප් එකට ගියාම හරිම පාළුවක්, තනිකමක් දැනෙනව කියල සිඟිති කිව්වම අම්ම නං කියන්නෙ එහෙ ඇවිදිං ඉන්න කියලයි.

සුනිමල් කසාද බඳින්න කලින්මයි කිව්වෙ වෙනම ගෙදරක පදිංචි වෙමු කියල. එයා කැමති  වුණේ නැහැ මහ ගෙවල් වල පදිංචි වෙලා නැති ප්‍රශ්න ඇති කරගන්න.

නැන්දම්ම, ලේලිලට විතරක් නොවෙයි අම්මල, දූලටත් එකට එකකාසු වෙලා වැඩ පළ කරගන්න බැරි කාලයක්නෙ මේ. ඒ නිසාමයි සුනිමල් තමන්ට කියල වෙනම ගෙයක් හදා ගත්තෙ කසාද බඳින්න කලින්ම. තට්ටු දෙකක ගෙයක්.

ඔය කම්මැලිකම යන්නත්තෙක්ක ටී.වී. එකවත් බලන්නකො කියල සුනිමල් කිව්වට හැම චැනල් එකේම යන එකම විදිහේ කාන්තා වැඩසටහන් බලන එකත් සිඟිතිට එපා වෙලා.
මල් වවන හැටි, මල් හදන හැටි, කෑම උයන පිහන හැටි, මහන වැඩ. ඕව මොන්ටිසෝරි පාඩම් වගෙයි සිඟිතිට පෙනෙන්නෙ. 

රුහුණු සරසවියෙන් කළමනාකරණ විශේෂ උපාධියක් හදාරල විවාහයට පෙර පන්නල පැත්තෙ ගාමන්ට් එකක සහකාර කළමනාකාරිණියක ලෙස රස්සාවට ගිය සිඟිති ගෙදරදි හැදුණෙත් හුරතලේට. තවම කියල වෙනසක් නැහැ.

සුනිමල් මෙයාව හුරතල් කරනව වැඩියි කියල අම්මල දෙන්නම කියනව.

උදේ පාන්දරින් ගෙදරින් පිට වෙලා ගිහිං ආපහු රෑ  බෝ වෙලා ගෙදර එන ඔය රස්සාවෙන් අයින් වෙලා තමන්ගෙ ව්‍යාපාර කටයුතු වලට උදව් වෙන්න කියල සුනිමල් කිව්වම ඒ යෝජනාවට ඒක පයින් කැමති වුණේ සිඟිතිගෙ අම්ම. 

පුංචි කාලෙ සිඟිති වෙච්චි සිඟිති, අම්මලාට තාමත් සිඟිති. සුනිමල්ටත් සිඟිති.

උදේ දහය විතර වෙද්දි දවල් කෑම හදන්නත් එක්ක සිඟිති සෝපාවෙන් නැගිට්ට. හොඳට කුෂන් කරපු දිගු සෝපාව තමයි උදේ වරුවෙ ඇගේ සුව යහන.
නැගිට්ට නොවෙයි. නැගිටුණා. අර ටින් බෙලෙක්ක සද්දෙට.

ටක..ටක...ඩක...ඩක...ටොක...ටොක..සිලිං...බිලිං...බුහ් ...බුහ්... එකම කරච්චලයක්.

සිඟිති මුලුතැන්ගෙයි දොර ඇරල සද්දෙ එන පැත්තට කන් දුන්න. ඒ එක්කම සද්දෙ නැවතුණා. ඔහොම තමයි. උන්නු ගමන් එක ඕසෙට ඇහෙන්න අරං එක පාරටම නවතිනව.

සිඟිති බතක් ලිපේ තිබ්බ. ෆ්‍රිජ් එකේ තිබුණ හුරුල්ලො මාළු ටිකක් එළියට ගත්තෙ බදින්න හිතාගෙන.

සුනිමල් සෙනසුරාදට වැල්ලට ගිහිං අලුත් මාළු අරන් එනව. සෝදල සුද්ද පවිත්ර  කරල ෆ්‍රිජ් එකට දාන්නෙත් සුනිමල්මයි. හැමදාම ගෙවල් පාරෙ මාළුකාරයෙක් යනව වුණාට මාළු කපන්නයි, පිළිහිඩි අල්ලන්නයි සිඟිති කැමති නැහැ. 

මෙන්න ආයෙම සද්දෙ. එළියට බැහැල බැලුව. ගේ පිටුපස තාප්පෙ එපිටිනුයි සද්දෙ එන්නෙ. බඩත් උස්සගෙන තාප්පෙන් ඉස්සිලා බලන්නත් බැහැ. මොකකටවත් නගින්නත් බයයි. ලෙස්සල වැටුණොත් හෙම. මේ සද්දෙ වගේද බඩේ ඉන්න දරුව.

දරුවත් යන්තම් දඟලනව වගේ දැනුණා. මේ සද්දෙ ඇහිලද කොහෙද වෙන්න ඇති කියල සිඟිතිට හිතුණා.

සද්දෙ හොඳටම වැඩියි. බල්ලෙක්ගෙ ඇ‍ඟේ ටින් බෙලෙක්ක ගැට ගහල නං ඌ වත්ත වටේ, ගම වටේ දුවන්න එපැයි. එකම තැනකින් සද්දෙ එන්න විදිහක් නැහැ. සිඟිතිගෙ කුතුහලේ වැඩි වුණා. උඩ තට්ටුවෙ බැල්කනියට ගියා නම් බලා ගන්න තිබුණ. ඒක අමතක වුණානෙ.
සිඟිති තමන්ටම ටොක්කක් ඇන ගත්ත. ගොං වැඩ කරද්දි සුනිමලුත් ආදරේට හෙමීන් ටොක්කක් අනිනව. පොඩි කාලෙ අම්මගෙන් කොයි තරම් ටොකු කාල ඇද්ද කියල හිතමින්ම සිඟිත් තරප්පු පෙළ නැග ගත්ත.

දැන් සිඟිති උඩ තට්ටුවට නොයන තරම්. බඩත් උස්ස ගෙන පඩිපෙළ නගින්න කම්මැලියි. ඇඟ පතත් ටිකක් මහත හිංද. ඒත් බැරි බැරිගාතෙ වුණත් උඩ තට්ටුවෙ බැල්කනියට ආව එක හොඳයි. උදේ ඉඳන් හිත නොසන්සුන් කළ සද්දෙට හේතුව දැනගන්න.

පිටිපස්සෙ තාප්පෙ එහා පැත්තෙ එරමිනිය ගාලෙ පැටලිලා ගැරඬියෙක් දඟලනව. උගෙ ඔලුව හිස් බියර් ටින් කබලක හිර වෙලා. බඩ ගාන්න බැරිව දඟලනව. යා ගන්න බැහැ. බල්ලො රැළක් වට වෙලා බුරනව. 

ගැරඬිය ටින් එක ගලවගන්න දඟලන වාරයක් පාසා බියර් ටින් එක තාප්පෙ වදිනව. හිස බිමට පාත් කළාම එතන තියෙන අනෙක් ටින් වල වදිනව. ගැරඬිය විටින් විට දඟලන්න ගන්නෙ ටින් එක වදින තිගැස්මටයි, බල්ලන්ගෙ කුලප්පුවටයි කළබල වෙලා වෙන්න ඇති.

සිඟිතිට හොඳටෝම දුක හිතුණ ටික වෙලාවක් මේ දිහාවෙ බලන් ඉන්න කොට. ඔලුවෙ හිර වුණ ටින් කබල ගලවගන්න ගැරඬිය විඳින වදයක්. උගෙ බෙල්ලත් කැපිලද කොහෙද.
ඇයට දැනුණෙ මේ කරදරේ තමන්ටම වුණා වගේ. ලොකු ටින් එකක තමන්ගෙ හිස හිර කරගත්ත සිඟිති කෙනෙක් ඇයට මැවී පෙනෙන්න ගත්ත.

සිඟිතිට සුනිමල් එනතුරු ඉවසිල්ලක් නැහැ. ඇය ඉක්මනින් දවල් ආහාරය පිළියෙල කරන්න පටන් ගත්ත. කෝල් එකක් අරන් මේ කරදරේ කියන්න හිතුණත් සුනිමල්ගෙන් බැනුම් අහන්න වෙයි කියල ඉවසුව.

ගෙදර ආවම මූණ බලාගෙන ආදරෙන් කිව්වම එයාට තරහ යන්නෙ නැති බව සිඟිති දන්නව. ෆෝන් එකෙන් බහුබූත කියවන්න ගියාමයි මළ පනින්නෙ.

ඉක්මනට කෑම පිළියෙල කළ සිඟිති ආයෙම උඩ තට්ටුවට නැග්ග. මහන්සියක් දැනුණෙවත් නැහැ.
සුනිමල් එද්දිත් සිඟිති උඩතට්ටුවෙ බැල්කනියෙ. ගැරඬිය දිහාවෙ බලාගෙන.
බයික් එක එන සද්දෙ ඇහුණම සිඟිති තරප්පු පෙළ ළඟටම ඇවිත් කෑ ගෑව.

“මං මෙහේ....උඩ තට්ටුවේ.....”
සුනිමල්ට හිතාගන්න බැහැ.

“ඔයා මොකද උඩ කරන්නෙ...?”

“ මෙහෙට එන්නකො මහන්සි නොබලා....”

“මට මහන්සි නෑ...ෂොප් එකට වෙලා ඉඳගෙන ඉන්න එක විතරනේ...”

සිඟිති ගැරඬියට වෙලා තියෙන අලකලංචිය සුනිමල්ට පෙන්නුව. දෑසෙ කඳුළු පුරෝගෙන පැහැදිලි කළා.

“ඉතිං උදේ ඉඳන්ම ඔයා මෙතනද....”

“නෑ මම දවල්ට ඉව්වත් එක්ක....පව්....ගැරඬිය....”
අන්තිමේට සුනිමල් තීරණය කළා ගැරඬියව අල්ලගෙන බලු දොස්තර ළඟට ගෙනියන්න.

“ අනේ හොඳයි....කොහොමද ඉතිං අල්ලගන්නෙ...”
හිස් පෝර උරයකුයි, බලුට්ටක් ගැට ගහපු ලීයකුයි අර ගත්තු සුනිමල් අල්ලපු ගෙදර ඉන්න කොලු ගැටයෙකුත් අඬ ගහගෙන තාප්පෙන් පැන්න. 

“මොකක්ද අයියෙ කරන්න යන්නෙ”

“එන්නකො මල්ලි. මූ උදේ පාන්දර ඉඳන්ම වද විඳිනව. අරහෙ සිඟිති අක්කගෙන් බේරිල්ලක් නෑ. මූව අල්ලල බලු දොස්තර ළඟටවත් ගෙනියන්නයි හිතුවෙ”

අල්ලපු ගෙදර තරුණය සුනිමල්ගෙ අවධානයට ලක් වූ ගෙදර බැල්කනිය දෙස බැලුව. ඔහු එකවරම දැක්කෙ ඉදිරියට නෙරා ආ සිඟිතිගෙ කුස පෙදෙස. පහළ ඉඳන් බලද්දි මූණ පෙනෙන්නෙත් නැහැ. මාස හයේ බඩට වැහිල.

“ ආ... අක්ක තමයි අයියට කරදර කරන්න ඇත්තෙ. අපිටත් උදේ ඉඳන් මේ සද්දෙ ඇහුණ. ඒත් ගණං ගත්තෙ නෑ” තරුණය කිව්වෙ ගැරඬියව බලුට්ටෙන් ආං බාං කරන ගමන්.

“අප්පද බොල... බියර් කෑන් එකක් නේද? මූට ඩෝප් ද?”
 සුනිමල් පෝර උරේ කට ඇරල අල්ලං ඉඳිද්දි අල්ලපු ගෙදර කොලු ගැටය බලුට්ටෙ පටලවගෙන ගැරඬියව උරේ ඇතුළට ඇදල දැම්මෙ කීප වතාවක් උත්සහ කරල. එකවතාවක් ඌ සුනිමල්ගෙ කකුල් දෙක අතරටත් වැටුණ.

සිඟිති උඩ ඉඳන් “ඊයා....” කියල කෑ ගැහුව.

තමන්ගෙ රාජකාරිය අවසන් කළ කොලු ගැටය ටටා බායි කියල එතනින මාරු වුණා.

සුනිමල්ට පෝර උරේ අතින් අරන් බයික් එක පදින්න අමාරුයි. ගැරඬිය දඟලනවත් එක්ක.

“ මං පෝර උරේ අරන් පස්සෙන් නගින්නද..”
“ඔයාට පුළුවනිද..”
“පුළුවනි... යං...”

ඔන්න සුනිමල් මාරවිල පොලිසිය ඉස්සරහ ඉන්න බලු දොස්තරගෙ ගෙදර යන්න බයික් එක ස්ටාර්ට් කරගත්ත. සිඟිති පෝර උරේ අරන් පිටුපස්සෙන් නැගගත්ත.

බයික් එක යන්නෙ හෙමින්. මහපාරට යන තුරුම ගෙවල් පාරෙ තියෙන්නෙ වළගොඩැලි. හොඳටම ගැස්සෙනව.

සුනිමල් හෙමින් බ්රේනක් ගහන්නෙ සිඟිති අතේ ඉන්න ගැරඬිය ගැන හිතල නම් නොවෙයි. සිඟිතිගෙ කුසේ ඉන්න දරුව ගැන හිතල.

ඒත් හෙමින් බ්රේගක් ගැහුවත්, වළගොඩැලි උඩින් යන වාරයක් පාසා ගැරඬියව දාගෙන ඉන්න පෝර උරේ පැද්දිලා ඇවිත් සිඟිතිගෙ කකුලෙ වදිනව.

“ඊයා... හෙමින් යංකො...”   සිඟිති දඟලන්න ගත්ත.

“දඟලන්නෙ නැතිව ඉන්නවකො ...මේ හරියෙ ගොඩක් වළවල්...ගැස්සෙනව තමයි.” 
“ගැරඬිය කකුලෙ වදිනව...”
“ගැරඬිය ඉන්නෙ ඇතුළෙනෙ. උරේනෙ වදින්නෙ” 

ඔන්න කොහොමින් හරි බයික් එක ප්‍රධාන පාරට දාගත්ත.
දැං තරමක් වේගෙන් යන්න පුළුවනි.

පෝර උරේ පැද්දිලා ඇවිත් කකුලෙ ගෑවෙන එක වළක්වන්න අත දිග ඇරගෙන, පෝර උරේ ඈතට කරගෙන ඇවිල්ලම සිඟිතිගෙ උරහිසත් රිදෙන්න ගත්ත.

පොලිසිය ළඟට එද්දිම පොලිස්කාරයෙක් බයික් එකට අත දැම්ම. සිඟිති හෙල්මට් එක දාගෙන නැහැ. ඇරත් ගම් පළාතෙදි ‍පිටුපස්සෙන් ඉඳගෙන යන කෙනා හෙල්මට් නොදැම්මට පොලිසිය ගණන් ගන්නෙ නැහැ.

“ ඔය ඉන්න තත්තෙ එක්කල හෙල්මට් නැතිව යන එක අවදානම් නේද නෝන...”
පොලිස්කාරය සුනිමල්ව අඳුන ගත්තෙ බයික එක නවත්තල හෙල්මට් එක අතට ගත්තමයි.

“ආ.... මේ අපේ සිඟිති ටෙක්ස්ටයිල් එකේ මහත්තයනෙ....” රෙදි කඩේ විශාල වුණාට ඒකෙ නම සිඟිති.

ගැරඬිය දඟලන්න ගත්ත.

“ ඔය උරේ මොකෙක්ද...?”
“ මේ...මේ...ගැ..ගැරඬියෙක්....”
“ගැරඩියෙක්.....?” පොලිස්කාරය පස්සට පැන්න. “කොහෙද ගැරඬියෙක් ගෙනියන්නෙ.”
“දොස්තර ළඟට...”
“ ගෙදර ගැරඬිත් හදනවද ? යන්න...යන්න...”

බලුදොස්තරගෙ ගෙදරට යද්දි එයා කෑම කනව. මේ කෑම වෙලාවනෙ. දවල්ට කෑවෙ නෑ නේද...සුනිමල්ට කන්න දුන්නෙත් නෑ නේද... කියල සිඟිතිට මතක් වුණෙත් එතකොට.
ගෙයි ඉස්තෝප්පුවෙ එක කොනක තමයි ප්‍රතිකාර කාමරේ තියෙන්නෙ.

බල්ලෙකුයි, පූසෙකුයි තුරුළු කරගත්ත ‍ලලනාවො දෙන්නෙක් ඉස්තෝප්පුවෙ උන්න.

සිඟිති බයික් එකෙන් බැහැල අත ඈතට දිගු කරන් පෝර උරේ අරන් ඇවිත් පරෙස්සමට පඩිය ගාවින් තිබ්බ. ගැරඩිය දඟලයි කියල බයෙන් වගේ.

පොමනේරියන් බලු පැටියට ඉවක් දැනිලද කොහෙද හීනියට බුරන්න ගත්ත. අයිතිකාරිගෙ අතින් පනින්න දැඟලුව. ඒ එක්කම ගැරඬියත් දඟලන්න ගත්ත.

“ඔය උරේ මොකෙක්ද දුවේ...”
“ගැරඬියෙක්...”
“මොකෙක්...?”
“ගැරඩියෙක් ආන්ටි....ඔලුව බියර් කෑන් එකක හිර කරගෙන?
“ගැරඬියට ‍වෙරිද...?”
“දන්නෙ නෑ ආන්ටි”
“ඔයා අර කනත්ත ඉස්සරහ ගෙදර දුව නේද? මම අම්මව දන්නව. ඔයාල ගැරඬිත් හදනවද?”
“නෑ...අල්ලපු වත්තෙ දුක් විඳිනව බලං ඉන්න බැරිව අරං ආවෙ”

මැදිවියේ කාන්තාව කම්මුලේ අත තියා ගත්ත. එයාගෙ දුව පොමනේරියන් බලු පැටියව පපුවට තුරුළු කරන් කට ඇඹුල් කරගත්ත. බලු පැටිය ඇගේ නිරාවරණිත පිරිපුන් පපු පෙදෙස ලෙවකනව සිඟිති දැක්ක.

“ඊය...” සිඟිති එහෙම හිතුව විතරයි. සිඟිතිට බල්ලො පෙන්නන්න බැහැ.

සුනිමල් බයික් එකේම ඉඳගෙන ඉන්නව. සිඟිති පඩිය ගාවට වෙලා පෝර උරේ දිහාවෙ බලාගෙන ඉන්නව. ගැරඬිය එළියට පනියි කියල බයෙන් වගේ.

දොස්තරගෙ නෝනමහත්තය එළියට ආව.

“දොස්තර මහත්තය කෑම කාල දැන් එයි...ඔයාගෙ බල්ලෙක්....මෙයාගෙ පූසෙක්... නේද....?”ඇය විපරම් කළා.
“මෙයාට ඉන්ජෙක්ෂන් ගහන්න නෝන....”
“මෙයාගෙ කන පිටුපස්සෙ තුවාලයක්...”

සිඟිති අතෙ සතෙක් පේන්න නැහැ. 

“ඔයාගෙ සතා මොකාද?” දොස්තරගෙ නෝනමහත්තය සිඟිතිගෙන් විමසුව.
“කෝ සතා...?”
“මේ උරේ ඇතුළෙ...”
“උරේ ඇතුළෙ ? කට බැඳල නේද ? ඇයි වස බල්ලෙක්ද....?”
“ නෑ...නෝන..බල්ලෙක් නෙමෙයි...”
“එහෙනං මොකාද ?”
“ගැ..ර ..ඬි..යෙ..ක්..” දොස්තර මහත්තයගෙ නෝනගෙ ඇස් උඩ ඉන්දුණා.
“ගැරඬියෙක් කොහෙන්ද...මක් වෙලාද...”
සිඟිති සිද්ධිය පැහැදිලි කළා.

නෝන ගෙට ගියා. ගේ ඇතුළෙ කසුකුසුවක්.

කොටම කොට සායක් ඇඳගෙන ඒ මදිවට කකුල් දෙක එළියෙ දාගෙන පුටුවක ඉඳ ගෙන පූසව කකුල් අස්සෙ හිර කරන් උගේ හිස අතගාන සුදු තරබාරු තරුණ කාන්තාව සිඟිතිගෙ නෙත ගැටුණ. සිඟිති එක වරම බැලුවෙ සුනිමල් බලන් ඉන්නෙ ගැරඬිය දිහාද නැත්නම් පූස දිහාද කියලයි.

පූස දිහාව බලන් උන්න නම් හෙම ගෙදර ගිහින් ඉවරයි.

සුනිමල් ඒ වෙලාවෙ බලන් හිටියෙ පෝර උරේ දිහාවෙමයි. ගැරඬිය සද්දයක් නැහැ. පොමනේරියන් බලු පැටියත් හීලෑ වෙලා. 

“කවුද ගැරඬියෙක් ගෙනාව කිව්වෙ”
“අපි....” සිඟිති, සුනිමල්වයි තමන්වයි අතින් සන් කරල පෙන්නුව.

“මං ගැරඬින්ට බේත් කරල නං නෑ... මං ළඟට මේ ගැරඬියෙක් ගෙනාවමයි. මොකද වෙලා තියෙන්නෙ”

“ඔලුව ටින් එකක හිර වෙලා. ටින් එක ගලවල බේත් ටිකක් දැම්මොත් ඇති. බෙල්ල කැපිල වගේ.” සිඟිති කිව්වෙ බොහොම අසරණ විලාසෙන්.

“ඉන්නකො බලන්න..මගෙ ඇසිස්ටන්ට් කෑමට ගියා. ආවම මිනිහ කරල දෙයි.”

පශු වෛද්‍ය වෘත්තියට ගැරඬි අදාළ නැතිව ඇති කියල සිඟිතිට හිතුණ. හුරතල් සතුන්ට බෙහෙත් කරන්න විතරද දන්නෙ නැහැ කැම්පස් එකේදි උගන්නන්නෙ.

දොස්තර මහත්තය පොමනේරියන්ට බෙහෙත් කරන්න ගත්ත. ඌ හරිම හුරතල්. පොඩ්ඩක් බිරුවට බුරන විදිහත් හුරතල්. සුනිමල්ට එහෙම හිතුණට සිඟිතිට නම් පෙන්නන්න බැහැ දිව එළියෙ දාගෙන ලෙව කන හැටි දැක්කම.

සමහර ගෑනු මිනිහට වඩා සාත්තු සප්පායම් කරන්නෙ බල්ලටනෙ කියල සිඟිති සිතුව. බල්ලො හුරතල් කරන කෙල්ලො ගැන කැම්පස් කොල්ලො කිව්ව කතා මතක් වෙලා සිඟිතිට තනිවම හිනා වගේම හිරිකිතයි. චිකේයියා....

ඔය අතරෙ තව ජෝඩුවක් කාරයකින් ආව. රොට්වයලර් බල්ලෙකුත් අරන්. ඌව දැක්කම සිඟිතිට හීන් දාඩිය දැම්ම. ඌ ඒ තරම් සද්දන්තයි. උල් දත්. හති දානව දිව එළියට දාගෙන.
බල්ලව රැහැන පටකින් අල්ලගෙන උන්නෙ හරිම සුකුරුත්තමක් කියල සිඟිතිට හිතුණ. එල්ලෙන පාට කරාබු. ලිප්ස්ටික් නාල. අතේ පාට පාට අරුමෝසම් වළලු. ප්ලාස්ටික් බෝල මාලයක් කරේ. නිය පාට කරල. හිරම හිර ස්කර්ට් එකක් ඇඳ ගෙන. හයි හීල්ස් දාල ඇවිදගන්නත් බැරි තරම්.

බල්ල උගෙ ස්වාමි දූව ඇදගෙන ඉදිරියට යන්නමයි  තතනන්නෙ. තව පොඩ්ඩෙන් ගෑනිව පය පැකිළිලා වැටෙනව.

ඉස්තෝප්පුවට ගොඩ වෙන ගමන් රොට්වයලර් පෝර උරේට ඉව කළා. හයියෙන් බුරන්න ගත්ත. පෝර උරේ උඩ පනින්න ගත්ත. ටිං බෙලෙක්කෙ පඩියෙ වැදිල සද්දෙ මතු වුණා. බලු තඩිය සද්දෙට කලබල  වුණා. 

ඌ පිම්මක් පැන්නත් එක්කම කාන්තාවගෙ සමබරතාවය නැති වෙලා පඩිය උඩ ඇද වැටුණ පාරට හිර සාය ඉහළට ඇදිල කළු ගාත් අස්සෙන් රතු ජංගියත් පේන්න ගත්ත. එයාගෙ මහත්තය පැනල බල්ලව අල්ල ගත්ත.

සිඟිතිට හිනාව වගේම තරහත් එක්ක. හිනා ගියේ මස් පර්වතේ ගෙම්බ පොළොවෙ ගැහුව වගේ පෝර උරේ ළඟින්ම වැටුණ විදිහට. තරහ ආවෙ බලු වෙදකම් වලට එද්දි හරිහමන් ඇදුමක් ඇඳගෙන ආවෙ නැති එකට. සේරම එළියෙ. මළ කෝලං.

සිඟිති සුනිමල් දිහාවෙ බැලුව. සුනිමල් හෙල්ලෙන්නෙ නැතිව බයික් එක උඩටම වෙලා බලන් ඉන්නෙ රතු ජංගිය දිහාවෙමද කියල සිඟිතිට සැකයි. පුදුමයි පැනගෙන ඇවිත් ගෑනිව උස්සන්න උදව් නොකල එක. සිඟිති දත්මිටි කෑව කාන්තාව එක්ක තරහෙන්.

“මොකෙක්ද පෝර උරේ ඇතුළෙ..” අමාරුවෙන් කොට බිත්තිය අල්ලගෙන නැගිට ගත්ත කාන්තාව මදක් ඉවතට යමින් ඇසුව.
“ගැරඬියෙක්ලු...” පිළිතුරු දුන්නෙ පූස අයිතිකාරි.
“ඊයා...ගැරඬියෙක්....ඊයා....” රොට්වයලර් බල්ල අයිතිකාර නෝන තම සැමියගෙ අතේ එල්ලුණා.

බලු දොස්තරගෙ සහායක ටික වෙලාවකින් ආව. ඔහු වෙතින් මත්පැන් සැර ගඳක් වහනය වුණා.

“කසිප්පු ගහල වගේ. එහෙම නැතිවත් මේ සත්තු එක්ක හැප්පෙන්න බැරිව ඇති.” සුනිමල් කල්පනා කළා.

සහායකව ළඟට කැඳව ගත්ත දොස්තර හෙමින් උපදෙස් දුන්න.

“කෝ....ගැරඬිය....”
සිගිති උරේ පෙන්නුව.
“ඕක මෙහාට අරං ආවනං..”
ඒ වතාවෙ සුනිමල් උරේ අතට ගත්ත. සිඟිති පස්සෙන් වැටුණ.

සහායක තම රාජකාරියට තෝර ගත්තෙ දොස්තර මහත්තය බලු, පූස් සාත්තුව කරන පැත්තට විරුද්ධ පැත්තෙ ඉස්තෝප්පුවෙ කෙළවර.

පොමනේරියන්ට ඉන්ජෙක්ෂන් එක ගහගෙන අම්මයි දුවයි ඉක්මනටම පිට වෙලා ගිහින්. මේ ගැරඬි සෙල්ලමට කලියෙන්.

“දන්නව නං තව කාලක් ගහල එන්නෙ.” සහායක තමන්ටම කියා ගත්තට සුනිමල්ට හොඳට ඇහුණා.

ගැරඬිය ටින් උගුලෙන් ගලව ගන්න මිනිත්තු කීපයයි ගත වුණේ.   අත් දෙකට ග්ලවුස් දමා ගත්ත සහායක ගැරඬියගෙ බෙල්ල මුලින් අල්ල ගත්ත. උගේ කඳ නළියන්න ගත්ත.
යකඩ කපන කතුරකින් ටින් එක කපල බෙල්ලට බේත් දැම්ම.

ගැරඬිය අහිංසක විදිහට තමන් දිහාව බලා ඉන්නව කියලයි සිඟිතිට හිතුණෙ. උගෙ ඇස් වල කඳුළු බේරෙනව.

සිඟිතිගෙ ඇස් වලත් සතුටු කඳුළු.

“දැං මොකද මූට කරන්නෙ..... නෝනල ඇරං යනවද?”
“ අරං යන්න බෑ...අපි මූ ඇති කරන්නෙ නෑ...” සිඟිති පස්සෙන් පස්සට ගියා.
“කීයද ගාන...” සුනිමල් ඇසුව.

“සල්ලි එපා...ඇති කරන සතෙක් නෙමෙයිනෙ...ඌව බේර ගත්තු එකම මදැයි...”
“අපි නොවෙයි ...ඔය මහත්තයනෙ බේර ගත්තෙ”
“මට බේර ගන්න වුණත් ඇරං ආවෙ මහත්තෙයලනෙ...කවුරුවත් කරන වැඩක් නොවෙයිනෙ...”
“ ඒකෙ ගෞරවේ නං මේ නෝනට...” සුනිමල් කිව්ව. සිඟිති බිම බලා ගත්ත. 

හැමෝම තමන් දිහාව බලන් ඉන්න බව දැනුණම සිඟිතිට හැඟුණෙ තමන් මොහොතකට ගැරඬියෙක් බවට පත් වුණා වගේ.

මේ මොහොතෙ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයක් සිද්ධ වුණා.

සහායකගෙ අතින් ලෙස්සා වැටුණ ගැරඬිය කෙලින්ම බඩ ගාගෙන ගියේ පූසට ප්‍රතිකාර කරන දොස්තර ඉන්න පැත්තට. ඒ  කියන්නෙ බලු තඩිය ඉන්න පැත්ත පසු කරගෙන.  

එක වරම තමන් දෙසට බඩගාගෙන එන ගැරඬිය දැක්ක රොට්වයලර් කලබල වෙලා පුටුවක් උඩට පැන්න. බල්ලගෙ අයිතිකාරිය රැහැන් පොට මහත්තය අතට දීල ‍ෆෝන් එකෙන් ෆේස්බුක් යමිනුයි උන්නෙ. බල්ල උඩ පැන්නෙ මොකද කියල බලද්දියි එයා ගැරඬිය තමන්ගෙ පා අසලින් ඇදෙනව දැක්කෙ.

“ඊඊඊක්....” පැත්තකට පනින්න ගිය කාන්තාව හයි හීල්ස් පැටලිලා වැටුණෙ ගැරඬිය පස්සෙන් වැනි වැනි ආව සහායකගෙ ඇඟටයි. බලාපොරොත්තු නොවූ විදිහට ඇඟ මතට කඩා වැටුණ මස් පර්වතයෙ එල්ලුණ සහායකයා කාන්තාව එක්කම බිම පතිත වුණා. 

උඩු බැලි අතට වැටුණ කෙසඟ සිරුරකින් යුතු සහායකට මොහොතක් හුස්ම ගන්න බැරිව ගියේ මුනින් අතට වැටුණ කාන්තාවගෙ විසල් පියයුරු වලට නැහැය හිර වුණ නිසයි.

ගැරඬිය කෙලින්ම ඇදුණෙ දොස්තර මහත්තය ප්‍රතිකාර කරන කාමරේටයි. දොස්තර මහත්තය යන්තම් එළියට පැන ගත්ත. පූසව තුරුළු කරන් හිටි තරුණිය මේසෙ උඩට කොහොම නැග ගත්තද කියල ඇයම දන්නෙ නැහැ.

හැමෝම කෑ ගහන්න පටන් ගත්ත. කාන්තාවන් හූ තියන හඬයි, බල්ල බුරන හඬයි....එකම මර ලතෝනියයි. 

සුනිමල් පොල්ලකුත් අරගෙන කාමරේට රිංගුවෙ ගැරඬියව යාප්පුවෙන් එළියට ඇද ගන්න. ඒක තමන්ගෙ යුතුකමක් කියල සුනිමල්ට හිතුණ. හරියට ගැරඬියගෙ අයිතිකාරය වගේ හැඟීමකින්.
සිඟිති නම් කලින්ම මිදුලට පැනලයි උන්නෙ. ගැරඬියට විතරක් නොවෙයි බල්ලටත් බයෙන්.
ගැරඬියව කාමරෙන් එළියට ගන්න සුනිමල් සමත් වුණා. ඌ හෙමින් හෙමින් ඉසතෝප්පුව දිගේ ඇදුණ. ගේ ඇතුළෙ ඉඳන් ආව දොස්තර මහත්තයගෙ නෝන දොස්තර මහත්තයවත් ඇද ගෙන ප්‍රතිකාර කාමරේට පැන ගත්ත.

පුටු උඩ මේස උඩ උන්න කාන්තාවො කොට බිත්තියෙන් එළියට පැන්නෙ ස්වාමිපුරුෂයන්ව විතරක් නොවෙයි පණ වගේ රකින බල්ලො, පූසොත් අතෑරල දාල. 

ගැරඬිය කෙලින්ම ගිහිං බලු දොස්තර මහත්තය‍ගෙ ගේ ඇතුළට රිංග ගත්ත. දොස්තර මහත්තයගෙ නෝන යටිගිරියෙන් කෑ ගහන්න ගත්ත.

සහායක පොල්ලක් අරන් ගෙට රිංගුවෙ “දැං ඉතිං කොහෙ කියල හොයන්නද” කියමින්.

ගේ ඇතුළෙ බඩු භාණ්ඩ පෙරලෙන සද්දෙ අස්සෙන් මිදුලෙ නවතා තිබුණ මෝටර් බයික් එක පණ ගැන්වී පිටත් වෙන හඬ ඇසුණ


- හෙන්රි  වර්ණකුලසූරිය 

2 comments:

  1. හොඳ කතාවක්. තවත් හොඳ නිර්මාණ කිරීමට සුභපතනවා. ඔබට ජය!

    ReplyDelete