Thursday 21 January 2016

රකුසු හැවිල්ල

(අලුත විවාපත් යුවළ සොයා විදේශයක සිට ආ බිරිඳගේ පැරණි පෙම්වතා ඇයට පහර දී පළා යයි. - පුවතක්.)

දඬු මොනරයෙ

එල්ලී ගෙන
මෙරටට ආ
රකුසනේ

මගෙ පණ සම

මගෙ ඇඹෙණිය
නුඹට නොදෙමි
රකුසනේ.....

මගෙ ප්‍රේමය නසන එකා

තොපම නේද පාළු යකා
තව එක ශනි දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා....

බලා එල්ල

හෙළමි හෙල්ල
කපමි බෙල්ල 
මරු තැනේ....

අයියනායක දෙවිඳු රටේ

අනුහස්කම් නැතිද වදේ
යදිනෙමි පුද දෙමින් වටේ
පොළොවෙ උලා නළල් ඇටේ....

බිමට වැටී

දිගට ඇදී
මහ හඬ දී
දෙවියනේ....

රුවට රිදී රුවක් පුදමි

රන් දුනු හී රැසක් පුදමි
රිදියෙන් කළ වැටක් පුදමි
දොහොත් නගා දෙවිඳු වඳිමි...

ඇයට කරපු විපත අනේ

බලා ගන්නැ දෙවියනේ
පළවා හැර රකුසු තෙමේ
ඇය මට දෙනු සාමිනේ....

ඇය මගෙමයි සාමිනේ....



- හෙන්රි වර්ණකුලසූරිය

No comments:

Post a Comment