Saturday 16 January 2016

නිරුවත් ජීවිත

මා ජීවත් වන්නේ කුඩා හුදෙකලා නිවසකය. එය පිහිටා ඇත්තේ මහල් නිවාස සංකීර්ණයක තුන්වන මහලේය. ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නට මා මෙතැන තෝරා ගත්තේ එය පිහිටා ඇති නිස්කලංක සුන්දර පරිසරය නිසාමය.

දවසකට කීප වතාවක්ම මගේ කුඩා නිවසේ ඇති ජනෙල් කවුළුවලින් පිටත පරිසරය පමණක් නොව මිනිස් ජීවිතද සංකලනය වන අන්දම නැරඹීමට මා බොහෝ සෙයින්ම කැමතිය. එය කැමැත්තකටත් වඩා ඇබ්බැහි වූ පුරුද්දක් ලෙස හැඳින්වීම වඩාත් උචිතය.

මොහොතින් මොහොත වෙනස් වන රූපරාමු පෙළක් සේ මේ දසුන් දෙස බලාසිටීමෙන් ජීවිතයේ හුදෙකලා බව සංසිඳෙනවා පමණක් නොව ජීවත්වන බවද දැනෙන්නට පටන් ගනී. හුස්ම ඉහළ පහළ යවනවාට වඩා අරුතකින් ජීවත්වීම අර්ථ ගැන්වීමට මට ඉඩ හසර පාදන්නේ කවුළුවලින් පිටත මා දකින විවිධ ජීවන රටාවන්ගෙන් යුතු බාහිර සමාජයේ හැසිරීමයි.

කුඩා මුළුතැන්ගෙයකින් හා විසිත්ත කාමරයකින් යුතු මගේ නිවසේ වැසිකිළිය හා නානකාමරය ඇත්තේ නිදන කුටියට යාබදවය. මුළුතැන්ගෙයි හා නානකාමරයේ කවුළු වලින් පිටත බැලූවිට පෙනෙන්නේ වන රොදකි. බාහිර සමාජයට ප්‍රවේශ විය හැක්කේ නිදන කාමරයේ හා විසිත්ත කාමරයේ කවුළු වලින් පමණි.

විසිත්ත කාමරයේ කවුළුවෙන් පිටත බලද්දී පෙනෙන්නේ නිසලව ගලා බසින ගංගාවත් ඊට එපිටින් වූ ජනාකීර්ණ නගරයත්ය. ගඟ හරහා තැනූ උස් සැකිළි මත නැගුණු ආරුක්කු පාලම මතින් වූ අධිවේගී මාර්ගයේ තොරතෝංචියක් නැතිව දිවෙන වාහන ගණන් කිරීමත් කාලය කා දැමීමට මා යොදා ගන්නා උපක්‍රමයකි. විවිධාකාරයේ වාහන වර්ග මනෝමය ලෙස ගණන් කිරීම එක්තරා අතකින් මානසික ව්‍යායාමයක් ලෙස සළකන්නටද පුළුවන.

එය සිත එක් නිශ්චිත සංසිද්ධියක් කෙරෙහි සමවැදෙන භාවනාවක් වැන්න.

ගං ඉවුරට එපිටින් වූ උද්‍යානය දහවල් වරුවේදී නොසෙල් වෙන චිත්‍රයක් විලස කිසියම් ශෝකී පාළු බවකින් යුතු වුවද සන්ධ්‍යා යාමය වන විට විවිධාකාර පුද්ගලයන්ගේ චර්යා රටාවන්ගෙන් පහස ලබයි.

ගඟ අද්දරටම වූ එක් බංකුවක හිඳ සිටින කබායක් හැඳි, උස් තොප්පියක් පැළඳ සිටින වයස් ගත පුද්ගලයා බොහෝ සන්ධ්‍යා යාමයන්හි පොතක් කියවමින් එහි කාලය ගත කරනු දක්නට හැකිය.

ඊට මදක් පසෙකට වන්නට ඇති බංකුවේ තරුණ ජෝඩුවක් ඔවුන්ගේම ලෝකයක තනි වී සිටිනුද සුලබ දසුනකි. බොහෝ විට එතැන අරක් ගන්නේ එකම ජෝඩුවක් වුවද ඔවුන් හැසිරෙන ආකාරය විවිධය. සිත්ගන්නාසුලුය.

ගං ඉවුරට මදක් එපිටින් උද්‍යානය වටා තනා ඇති පටු මං තීරුව දිගේ ව්‍යායාම කරමින් ඇවිදින බඩ මහත පිරිමි සේම මස් පර්වත වැනි ගැහැනු ගමන් කරන්නේ එකිනෙකාට අනන්‍ය වූ විවිධ ලතාවන්ටය. ඔවුන් වේගයෙන් පා තබන, අත් වනන ස්වරූපයද එහැම පිටින්ම වෙනස්ය.

බොහෝ සති අන්තවල සිය දරු දෙදෙනාද සමග උද්‍යානයට එන මැදි වයසේ අඹුසැමි යුවළ මගේ සිත් ගන්නේ ඔවුන් වෙතින් පිළිබිඹු වන ආදරණීය බව නිසාමය. ඔවුන් දෙස බලා සිටින විට මගේ සිතුවිලි අතීතයට ඇදී යන්නේ නිරායාසයෙනි.

මම මොහොතකට එම පිරිමියාට ආවේශ වෙමි.

තණගොල්ලේ එළාගත් පලසක් මත කෙළිදෙලෙන් කල් ගත කරන දරුවන්ගේ හුරතල් දැඟලිලි දෙස කොතෙක් බලා සිටියද විඩාවක් දැනෙන්නේ නැත.

පියාඹන කුරුල්ලන්, ගං දියේ කරනම් ගසන මාළුන්, වේගයෙන් ඇදී යන දුම්රිය වැනි දසුන් දරුවන්ට පෙන්වමින් රැගෙන ආ ආහාරපාන වලින් ඔවුන් සන්තර්පනය කරමින් මේ දෙමාපිය යුවළ දරුවන්ගේ ප්‍රීති ප්‍රමෝදය වඩවන බව නිසැකය. ටික වේලාවක් ගත වන විට පිරිමි දරුවාට එක තැන හිඳීම අපහසු වෙයි. එවිට පියා කරන්නේ දරුවා රැගෙන ළමයින් සඳහා තනා ඇති ක්‍රීඩා අට්ටාලය වෙත යෑමය.

සර්පිලාකාර උමග දිගේ ඉහළ සිට පහළට ඇදී එන්නට දරුවා වඩාත් කැමති සේය. ආනතියෙන් යුතු උමගේ ඉහළින්ම දරුවා තබන පියා අනෙක් කෙළවර වෙත වහා දිව එන්නේ පහළ උමං කටේදී  නිරුපද්‍රිතව දරුවා සිය දෝතට ගන්නටය.

ඇත්තෙන්ම ඒ පියා යනු වසර ගණනාවකට පෙර මාය.

විශාල බිම් පෙදෙසක් වසා පැතිරෙමින් උද්‍යානයට මදක් එපිටින් නැගී සිටින තට්ටු ගණනාවක උසින් යුතු සුපිරි වෙළඳ සංකීර්ණය මුළු නගරයම සිය අණසකට නතු කොටගෙන ඇතිවා සේය. සන්ධ්‍යා යාමය වන විට පිටත රථ ගාලේ ඇති වාහන පිටව යන්නේත්, ඊටත් වඩා වැඩි වාහන ප්‍රමාණයක් ඇතුළු වන්නේත් තරඟයකට මෙනි.

භාණ්ඩ මිලදී ගැනීමට පැමිණියාට වඩා විලාසිතා ප්‍රදර්ශනයකට ආ බවක් බාහිර ස්වරූපයෙන් පෙනෙන තරුණ කාන්තාවන් පිටත රථ ගාලේ සක්මන් කරන්නේ සුරඟනුන් විලසිනි.

තමන්ගේ ජීවිත දෙස රහසිගතව, සජීවී දෑසක් එල්ල වී ඇති බව මේ කිසිවෙකුත් නොදන්නා බව මට විශ්වාසය. එසේ දන්නේ නම් මේ හැමෝගේම හැසිරීම් මෙතරම් සැහැල්ලු වන්නේ නැත.

නගරයේ ඈත කෙළවර, මගේ ජනෙල් කවුළුවට නොපෙනෙන ඉමක වූ දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ පිහිටි උස් වූ නැරඹුම් කුළුණ මත වන සීමාමාලකයට නැග හාත්පස සිසාරා සිරි නරඹන ජනී ජනයා මට පෙනෙන්නේ ඡායාවන් සේය. උස් කුළුණ හා සසඳද්දී ඔවුන් කුරුමිට්ටන්ටත් වඩා කුඩාය.

මගේ නිදන කාමරයේ ඇති දුරේක්ෂය මෙතැනට ගෙනැවිත් නැරඹුවහොත් ඔවුන් වඩාත් පැහැදිලිව දර්ශනය වනු ඇත. එහෙත් දුරේක්ෂය මගේ ලියන මේසය මතම තිබෙනවාට මා කැමතිය. එතැන සිට මට නරඹන්නට ලැබෙන්නේ වෙනස්ම ආකාරයක රූපාවලීන්ය. සංසිද්ධීන්ය.

බොහෝ විට මා දුරේක්ෂයට නෙත් යොමන්නේ රාත්‍රි කාලයේදීය. මගේ කාමරයේ ඇති දුරේක්ෂයක් දහවල් කාලයේදී අවට ලෝකයට යොමුවන බව යමෙකුට ඉව වැටුණහොත් එය මගේ ආත්ම ගරුත්වයට සුදුසු නැත. ඇරත් මා දකින දසුන් ගැන අනෙකුන් දන්නේ නම්...?

නිදන කාමරයට පහළින් ගං ඉවුරේ විසිරී ඇත්තේ පැල්පත් සමූහයයි. මේ පැල්පත් පේලි පිහිටා ඇති  ආකාරය බොහෝ විට එකිනෙකට සමාන වන්නා සේම වෙනස් ආකාරයේ අට්ටාලද විටින් විට දක්නට හැකිය.

මා සිටින උඩුමහලේ සිට පහත බැලූ විට එකවරම දිස් වන්නේ ටකරං වහල යායකි. ඒ පැල්පත් යාය අතරින් පතර සිහින් මං තීරු දක්නට ලැබේ. මං තීරු පසෙක කුණු කානුය. කානුවලට මළපහ කරන ළමුන් සුලබ දසුනකි. ටිං බාල්දි රැගෙන වැසිකිළි පෝලිමේ සිටගෙන සිටින්නවුන් මෙන්ම වැඩිවශයන් හිමිදිරියේත්, ගොම්මනේත් එකී කාර්යය සඳහා ඉවුරට ඇදෙන්නවුන්ද දැකගත හැකිය.

විටෙක නල ළිං අසල ගැවසෙන ගැහැනුන් අතර පටලැවිල්ලකි. තවත් විටෙක බේබද්දන්ගේ රංඩුසරුවල්ය.  තැනින් තැන පාවෙන කුඩුකාරයන්ද හිඟ නැත.

පහන් කණුව යට කාන්තාවන් දෙදෙනෙකු රැඳී සිටින්නේ ග්‍රාහකයන් බිලිබා ගන්නටය. ඔවුන් අතරින් එකියක මට සුවිශේෂය. ඇගේ රූප සොබාව මගේ සිත ඇද බැඳ තබා ගනී. ඇය බොහෝ විට අඳින්නේ තද රතු පැහැ කොට ගවුමකි. එල්ලා වැටෙන තෝඩු කරාබු ඇගේ මුහුණට ගෙන දෙන්නේ සිරියාවකි. අඩි උස පාවහන් පැළඳ සිටින ඇය ඇවිදින්නේ ලතාවකටය. මා ඇයට බෙහෙවින් ආදරය කරන බව ඇය දන්නේ නැත. එම හැඟීම කම්සැප විඳීමේ ලොල්බව අභිබවා ගිය තෘෂ්ණාවකි.

පැල්පත් යායට එපිටින් ඉදි කළ දැවැන්ත තාප්පය මායිම් වන්නේ මධ්‍යම පාංතික තට්ටු ‍ ගොඩනැගිල්ලටය. එය පසුබිමේ කඳුයායකි. කඳුයාය ඉස්මත්තේ පිහිටි ගුවන්විදුලි, රූපවාහිනී, ජංගම දුරකථන සම්ප්‍රේෂණ කුළුණුවලින් නික්මෙන ආලෝක පුංජ රැයේ පෙනෙන්නේ තැනින් තැන දැල්වූ විදුලි පන්දම් එළි ලෙසිනි.

මගේ දුරේක්ෂය බොහෝ විට ආනත වන්නේ මහල් නිවාස වල ජීවිත සොයා යන්නටය. බොහෝ නිවෙස්හි ජනෙල් රාත්‍රි කාලයේදී විවරව තැබෙන්නේ දැඩි දාහය සමහන් කරගන්නටය. ගං දෑල පිස එන මද නල සුවදායකය.

ඉහළ මහලක ජීවත්වීමෙන් තමන්ගේ පෞද්ගලිකත්වය වඩාත් ආරක්ෂා වන බව එහි වෙසෙන්නවුන් සිතන බව නිසැකය.

තුන්වන මහලේ ගඟ පැත්තේ කෙළවරේම පිහිටි නිව‍සෙහි වෙසෙන කාන්තාව රැකියාවට ගොස් ආපසු පැමිණෙන්නේ රෑ හතේ කණිසමටය. එම වෙලාව වෙනස් වන්නේ නම්, ඒ මිනිත්තු කීපයකිනි. දරුමල්ලන් පෙනෙන්නට නැති බැවින්ද, ඇය පැමිණ හෝරාවකට පමණ පසු ගෙට එන සැමියා සමග  වෙලී පැටලී ආලිංගනයේ යෙදෙන ආකාරය අනුවද මා නිගමනය කොට ඇත්තේ ඔවුන් මෑතදී විවාපත් වූ යුවළක් බවය.

බොහෝ විට පුරුද්දක් ලෙසම හතේ කණිසමට මිනිත්තු කිපයක් තිබියදී මා දුරේක්ෂයට එබී බලන්නට අමතක නොකරන්නේ මගේ සිත ගත ප්‍රමෝදයට පත් කරන දුර්ලභ දසුනක් නරඹන්නට ඉඩ ලැබෙන බැවිනි. අඳුරින් පිරි විසිත්ත කාමරය විදුලි පහනින් ආලෝකමත් වනවා යනු ඇය පැමිණි බව සනාථ කෙරෙන සලකුණයි.

අත් බෑගය සෝපාව මතට විසි කරන ඇය ඒ මත පතිත වන්නේ යමෙකු ඔසවා අත හැරිය කලෙක මෙනි. ඇය ඒ තරමටම විඩාවට පත් වී ඇතුවා නිසැකය. එක් අතකින් ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගන්නා අතරතුර ඉහළට ඔසවා ගන්නා දෙපාවල ඇති පාවහන් ගලවමින් ඉවතට විසි කරන්නේ තමන් එතෙක් සිර වී සිටි ග්‍රහණයෙන් මිදීමේ සැහැල්ලුව ලබමිනි.

නිල ඇඳුමක් වැනි ඇඟට හිර වු සායක් හැඳ සිටින ඇගේ දෙපා ඉහළට එසැවූ විට ඇඳුම පහළට ලුහුටා ගොස් දෙපා වටොර දක්වා නිරාවරණය වන්නේ නිතැතිනි. වාත්තු කළා වැනි දිගැටි පිරුණ පා යුග්ම මට සිහිපත් කොට දෙන්නේ හොලිවුඩ් සිනමා පටයක දර්ශනයකි.

දුරකතන ඇමතුම ඉතා කෙටිය. සමහර විට තමන් නිරුපද්‍රිතව නිවසට පැමිණි බව ඇය තම සැමියාට පවසනවා විය යුතුය. අලුත විවාපත් ජෝඩු හැසිරෙන්නේ ඒ ආකාරයටය.

අනතුරුව නැගී සිටින ඇය එකින් එක ඇඳුම් ගලවා දමන්නේ ඉහළ මාලයක දිවි ගෙවන බැවින් කිසිවෙකුටත් තමන්ගේ පෞද්ගලිකත්වයට එබිකම් කිරීමට ඉඩ ලැබෙන්නේ නැතැයි යන විශ්වාසයෙන් විය යුතුය.

ඇගේ නිරුවත් සිරුර, තරුණ වියේදි මා පහස ලබා ඇති කාන්තාවන්ගේ සිරුරු හැඩතල සමග සැසඳිමට මා පෙළැඹෙන්නේ නිරායාසයෙනි. පුළුල් වටොර වඩාත් බේරී පෙනෙන්නේ මදක් පහත් වී අවසන් යටි ඇඳුම දෙපයින් පන්නන විටය. එහි ඇති රේන්ද රටා නිරීක්ෂණය කරන්නට තරම් දුරේක්ෂය බලවත් නැත.

සියලුම ඇඳුම් ඉවත් කරන ඇය ඒවාද තුරුළු කොටගෙන ඇතුළු කාමරයට වැදීමත් සමග මගේ දුරේක්ෂය අංශක තිහක් පමණ දකුණට යොමුවන්නේ සිව්වන මහලේ කඳුයාය ඉමේ සිට වම්පසට වන්නට පිහිටි තුන්වන නිවස සොයා ගෙනය.

එහි වෙසෙන්නේ මෑතකදී විශ්‍රාම ලත් වයසේ පසුවන ජෝඩුවකි.  මේ වෙලාවට දෙදෙනාම විසිත්ත කාමරයේ ඇති රූපවාහිනී යන්ත්‍රය දෙස නෙත් යොමාගෙන සිටිනු දක්නට හැකිය. දෙදෙනා බොහෝ විට අසුන් ගෙන සිටින්නේ එක ළඟින්මය. වයසේ අග්ගිස්සට යමින් සිටියද එකිනෙකා කෙරෙහි ඔවුනොවුන් දක්වන ප්‍රේමය විශ්මිතය.

දුරේක්ෂයට ඉලක්ක වන කාන්තාව විටෙක සිය ස්වාමිපුරුෂයාට සුප් කෝප්පයක් පොවන්නේ ඉන් හැන්දක් දෙකක් තමන්ගේ මුවේ හලාගන්නා අතරතුරදීය. විටෙක ඇය ඔහුට යමක් කවන්නේ හුරතල් දැරියක ලෙස එහා මෙහා ඇඹරෙමිනි.

මේ සියල්ලටත් වඩා මා සිත් ගන්නේ ඇය තම සැමියා සිප වැළඳගන්නා ආකාරයටය. එසේ සිප වැළඳගන්නා අතර ඇය කවුළුව දෙස බලන්නේ යමෙකු හොරෙන් තමන් දෙස බලා සිටින්නේදැයි සැකයෙන් මෙනි.

සමහර දිනෙක ඇය වහා දිවවිත් කවුළුව තිර රෙදදෙන් ආවරණය කරන්නේ මදක් විවර වූ කිමෝනාව අතින් ගුලි කර ගනිමිනි. එකත් එකටම මිනිහා ඒ ටිකට කිමෝනාවේ බොත්තමක් දෙකක් ලිහිල් කලා වෙන්නට බැරි නැත. නාකි විසේ ගෙටත් උසේ කියන්නේ මේවාටය. එතැන් පටන් තිර රෙද්දෙන් එහා ජවනිකා සිතේ මවා ගැනීම හැර මට කළ හැකි අන් දෙයක් නොමැත.

විසිත්ත කාමරයේ ජනෙල් කවුළුවෙන් දකින පිටත දර්ශන ගොම්මන් අඳුරත් සමග සැඟව යද්දී නිදන කාමරයේ ඇති දුරේක්ෂය මගින් තවත් ජීවිතවලට එබිකම් කරන්නට ලද අවස්ථාවද ගිලිහී යන්නේ එකී නිවෙස්හි විදුලි පහන් නිවා දැමීමත් සමගය.

මා පදිංචි මහලේ අඳුරු කොරිඩෝරයෙන් වමට හැරුණු පසු කෙළවරේම හමු වන නිවාසයේ යතුරු සිදුර ඔස්සේ එහි වසන්නන්ගේ ජීවිත සමග ඒකාත්මික වන්නට මා යොමු වන්නේ ඉන් අනතුරුවය. ගෙවී ගිය සති ගණනාව තුළ කිසිදු දිනෙක රාත්‍රියේදී මෙකී නිවසේ දොරගුලු විවර නොවූ හෙයින් මගේ රහසිගත මෙහෙයුමට මෙතෙක් බාධා පැමිණ නැත.

එහෙත් මගේම නිවහනේ ජනෙල් කවුවවලින් පිටත නැරඹීමේදී තරම් නිදහසක් හිතට නොදැනෙන්නේ යතුරු සිදුරට ඇස තබාගෙන සිටින කවර මොහොතකදී හෝ මගේ රහස හෙළිදරව් වී ශාරීරික ප්‍රහාරයට ලක් වී පදිංචි මහල් නිවාසය පවා අතහැර යන්නට සිදුවේදෝයි දෙගිඩියාවක් ඇති වන බැවිනි. එහෙත් මේ පුරුද්දෙන් මිදෙන්නට මට නොහැකිය.

ඊට ප්‍රධාන හේතුව වන්නේ  මේ නිවසේ වසන කුඩා දරුවන් දෙදෙනාගේ සුරතල් හැසිරීමයි. ඔවුන්ගේ ලෝකයට පිවිසෙන මා අඩ සියවසක ඉතිහාසයට යන්නේ ඉබේටමය. එදා මේ විලසින් කුඩා දරුවන් දෙදෙනෙකු උකුලේ හොවා ගෙන ඇති දැඩි කරද්දී මතු යම් දවසක මෙලෙස හුදකලා වේ යැයි මා සිතුවේ නැත.

මෙම නිවාස සංකිර්ණයේ පදිංචියට පැමිණ දින කිහිපයකට පසු මම රාත්‍රි ආහාරය සඳහා යමක් මිලදී ගෙන පඩිපෙළ නගිමින් සිටියෙමි. එහි ඉස්මත්තට මා එන විට මගේ පසුපසින් ඇසෙන්නට පටන් ගත්තේ දරුවන් දෙදෙනෙකුගේ හුරතල් කටහඬය.

එකිනෙකා පරයා තරඟයට දිව ආ ඔවුන් මා පසු කොට ගියේ එකෙකු මගේ ඇ‍‍‍ඟේ හැප්පෙමින් හා අනෙකා මගේ දෙපා යටින් රිංගාගෙනය.  ඒ සමගම ඔවුන්ගේ මවද පැමිණියේ  හැප්පිලා වැටෙයි, තියෙන දාංගලේ කියමිනි.

මම මොහොතක් නැවතී ඔවුන් දෙස බලා සිටියෙමි. මැදි වියේ වූ කාන්තාව මා වෙත ප්‍රසන්න සිනාවක් පා දරුවන් පසුපස දිව ගියාය. ඇය දොරගුළු හැර නිවස තුළට වදින තුරුම මම නොසෙල්වී බලා සිටියෙමි.

මගේ සිතේ ක්ෂණික කුතුහලයක් හට ගත්තේ රාත්‍රි ආහාරය ගෙන විවේක ගනිමින් සිටියදීය. මට මුලින්ම ඇති වූයේ පෙරකී දරුවන් දෙදෙනාගේ කටහඬ ඇසීමේ ආශාවයි. ඔවුන් මගේම දරුවන්ය. උස් මහත් වී අද දුරු රටවල වෙසෙන මගේම දරුවන් හදිසියේම බාළ වියට පා තබා මේ මහල් නිවාස සංකීර්ණයට පැමිණ ඇත.

එම සිතුවිල්ලෙන් උත්තේජනයට පත් මා අඳුරු කොරිඩෝරය දිගේ සෙමෙන් පියවර මැන්නේ ඔවුන් වෙසෙන නිවස වෙතය.

පහළ මධ්‍යම පාංතිකයන් ජීවත් වන මා පදිංචි නිවාස සංකීර්ණය හරිහමන් නඩත්තුවකට ලක් වන්නේ නැත. වසර ගණනාවකින් පිළිසකර කරනු තබා තීන්ත ආලේප කිරීමටවත් පියවර ගෙන නොමැති බැවින් කොරිඩෝරයේ කොහොමටත් පවතින අඳුරු ස්වභාවය තව තවත් වැඩි වන්නේ පිළිස්සුණු විදුලි බුබුළු පවා එසේම තිබෙන්නට හැර ඇති බැවිනි.

නිවසේ දොර අසලට වී කන් දුන්නද කිසිදු හඬක් පිටතට නොනැගුණෙන් දොරේ යතුරු සිදුරෙන් එබිකම් කිරීමේ ආශාවක් එකවරම මගේ සිතට නැගිණ. කිසිවක් නොසිතා ක්ෂණික ආශාවට ඉඩ දුන් මා දුටුවේ දරුවන් දෙදෙනාම උකුළේ හොවාගෙන ආහාර කවන මවගේ විඩාබර මුහුණයි.

ඇය තොරතෝංචියක් නැතිව කියවන්නේ කතාන්දරයක් විය යුතුය. මා එසේ කල්පනා කරන්නේ දරුවන් දක්වන ප්‍රතිචාර අනුවය.

විටෙක දරුවකු උකුළෙන් බැස දිව යන්නේ හදිසියේ සිහි වූ යමක් ගෙන එන්නටය. විටෙක එය සෙල්ලම් බඩුවකි. නැතිනම් චිත්‍ර අඳින පොතක් හෝ පාට පෙට්ටියකි. එය දකින අනෙක් දරුවාද දිව යන්නේ පිංතූර පොතක් ගෙන එන්නටය. ඇය තරවටු කරමින් ඔවුන් තමන් වෙත කැඳවන්නේ ඇනූ බත් පිඩක් අතේ තබා ගෙනය.

මම නොසෙල්වී ඔවුනගේ ජීවිතවලට එබිකම් කරන්නට පටන් ගතිමි. සාමාන්‍යයෙන් වැඩි වේලාවක් උක්කුටියෙන් හිඳ සිටීම අපහසු කටයුත්තකු වුවද, මේ රහසිගත කාර්යයේදී එසේ නොවීය.

දරුවන්ට කෑම කවා හමාර කරන ඇය, ඔවුනට නිදැල්ලේ ඉන්නට ඉඩ හැර තමන්ගේ ආහාර කොටස ගිල දමන්නේ දඩිබිඩියේය. දරුවන් බිම දිගා වී හෝ තම උකුළේ හිස තබාගෙන නිදාගන්නට ආසන්න බව ඇය දනී.

මේ නිවසේ පිරිමියෙකු නැතැයි මා තීරණය කළේ සති අන්තයක්ද සමග එක දිගට දින කීපයක් මේ චර්යා රටාව දෙස යතුරු සිදුරෙන් බලා සිටිමෙන් අනතුරුවය.

දවල් දවසේ නිවසේ කිසිවෙකුත් සිටියේ නැත. උදේ පාන්දරින් පිටව යන මව සහ දරු දෙදෙනා ආපසු පැමිණියේ හැන්දෑවේය. සමහර විට මව රැකියාවකට යන අතරතුරේ දරු දෙදෙනා මොන්ටිසෝරියක හෝ ළමුන් රැක බලාගන්නා නිවසක හෝ තමන්ගේ ඥාතියකු ළඟ රඳවා තබනවා විය හැකිය.

මොවුන්ගේ ජීවිත වලට බද්ධ වීමට මා කොපමණ ලොල් වූයේද යත් සතියක් හමාරක් ගතවන විට මා අකුලන රෙදි පුටුවක්ද මිලදී ගත්තේ ඒ මත හිඳ ගෙන යතුරු සිදුරෙන් එබිකම් කිරීම වඩාත් පහසු වූ බැවිනි. මේ පුරුද්ද ජීවිතයේ එක් අංගයක් බවට පත් කර ගැනීමට තරම් මා නිර්භීත වූයේ රාත්‍රි කාලයේදී දොර විවෘත නොවන බවත්, කිසිවෙකුත් පිටත සිට නිවසට නොඑන බවත් සක්සුදක් සේ පැහැදිලි වූ බැවිනි.

දරුවන්ද තුරුළු කොටගෙන රූපවාහිනියට නෙත් යොමා සිටින ඇය සැටිය මත නිදිකිරා වැ‍ටන්නට වෙයි. සමහර විට පැය බාගයක් හමාරක් එසේ කෙටි නින්දකට වැටෙන ඇය හදිසියේ අවදි වන තුරුම භාවනාවක යෙදෙන කලෙක මෙන් මවගේත් දරු දෙදෙනාගේත් ඉරියව් නැරඹීමෙන් මම ප්‍රමෝදයට පත් වීමි.

විටෙක සිය උකුළ මත හරිබරි ගැසෙන දරුවෙකුගේ අතපය දැවටිමෙන් ඇය හැඳ සිටින කිමෝනාව මෑත් වී කලවා යුගල නිරාවරණය වුවද, දුරේක්ෂයෙන් නැරඹූ තරැණියගේ නිරුවත දැකීමෙන් මා සිත ඇති වූ අන්දමේ ජාගර හැඟීමක් ඇති වූයේ නැත.

සමහර දිනෙක තමන් නිදිකිරා වැටෙන්නට පෙර දරු දෙදෙනා වඩාගෙන ඇතුළු කාමරයට යන ඇය ඔවුන් යහන මත නිදි කරවනවා විය යුතුය. ටික වේලාවකට පසු ආලින්දයට ආපසු පැමිණෙන ඇය රූපවාහිනිය නරඹන්නට වෙයි. උන් හිටි ගමන් දොර දෙස බලන්නේ කිසියම් ජීවියෙකු දොරෙන් පිටත සිටින බව සංජානනය වී‍මෙන්ද ? එසේ නොවනවා විය යුත්තේ එවන් අවස්ථාවලදී දාහය නිවා ගන්නට මෙන් සිය පපු පෙදෙස, දෙපා යුග මදක් නග්නව තිබෙන්නට ඉඩ හරින බැවිනි. ඇගේ මුහුණ කිසියම් ආශ්වාදයකින් දිප්තිමත් වන්නේ විලිබර හැඟීමක් පහළ වූ කලෙක මෙනි.

විටෙක කාමරයට යන ඇය නැවත නොපැමිණෙන්නේ දරුවන්ද සමග නොදැනීම නින්දට වැටෙන හෙයින් වන්නට පුළුවන. එවන් දින වලදී ඇගේ පැමිණිම අපේක්ෂාවෙන් සිටින මා සෑහෙන වේලාවක් යතුරු සිදුරට ඇස තබා ගෙන නිදිකිරා වැටෙමින් බලා සිටින අවස්ථාද නැතිවා නොවේ.

පොතක් පතක් කියවීම, ආහාරයක් පිළියෙල කොට ගැනීම, කාමර දෙකක් අතුපතු ගා අස්පස් කොට ගැනීම හැරුණු විට දවස පුරා මට යෙදෙන්නට වෙනත් කාරියක් නොමැත. උදෑසනින් මගේ ගේ දොරකඩ දමා යන පත්තරය අකුරක් නෑර කියවීමෙන් දවස අරඹා පොතක් පතක් කියවීමටද කම්මැලි සිතුණ විට ඇ‍‍‍ඳේ වැතිරී සීලිමේ කොටු ගණන් කරමින් සිටි මා කවුළුවලින් පිටත ජීවිතවලට එබිකම් කරන්නට හුරුපුරුදු නොවූයේ නම් මානසික රෝගියෙකු වන්නට ඉඩ තිබිණ.

ගඟ අද්දර බංකුවේ සවස් යාමය ගත කරන කබාකාරයා.

මේ මිනිහව මං දවසක් දැක්කේ හදිසියෙනුයි. ගං දෑලෙන් හමන සිහිල් සුළං පොදක පහස ලබමින් පොතක් කියවන්න මේ ගං ඉවුරෙ තියෙන බංකුවට එන්න මං පුරුදු වෙලා දැනට මාස කීපයක් වෙනව. හරියටම බැලුවොත් අවුරුද්දක් විතරම කිට්ටු ඇති. ඒක මගේ ජීවිතයේ දෛනික පුරුද්දක් කරගත්තෙ තාප්ප වලින් වට වුණ ගෙදරටම වෙලා හිරවෙලා ඉන්නවට වඩා එයින් කිසියම් උත්තේජනයක් ලැබෙන නිසයි.

දවල් තිස්සෙ දරු මුනුබුරෝ බලාගෙන ගෙදරටම කොටු වෙලා ඉන්න මට මේ වාගෙවත් නිදහසක් නැත්නම් මොටද ? ඒ හින්දම තමයි දුවයි, ලේලියි වැඩ ඇරිල ආ හැටියෙම මං එළියට පැන ගන්නෙ. දෙගොල්ල තට්ටු දෙකේ වෙන වෙනම පදිංචි හංද උඩ පල්ලෙහා පඩි නැගලම දැං මගේ දනිස් පොල්කටුත් ගෙවිල.

මෙතෙන්ට ඇවිල්ල ඉඳගත්තම මගෙන් කාටවත්ම කරදරයක් නැහැ. අනුන්ගෙ කුණු කන්දල් අවුස්සන එක මගෙ පුරුද්දක් නෙමෙයි. කොටින්ම මං හැමදාම ඉඳගන්න බංකුවට එහායින් ගං ඉවුරෙම තියෙන අනෙක් බංකුවෙ ඉඳගන්න තරුණ ජෝඩු මොනාද කරන්නෙ කියලවත් මං හොයා බලන්න උත්සාහ ගන්නෙ නැහැ.

එක එක දවසට විවිධ පුද්ගලයො මෙතැනින් එහාට මෙහාට යනව. අර එහායින් තියෙන බංකුවට නම් බොහොමයක් දවස්වල එන්නේ එකම ජෝඩුවක්. හවසට වැඩ ඇරිල යන ගමන් මදක් ගිමන් නිවාගෙන එකිනෙකා හඳුන ගනිමින් ඉන්න පෙම් යුවළක් වෙන්න ඇති.

ඔවුන් මා පසු කරගෙන යන්නෙ සුහදශීලී සිනාවක් නගාගෙන. මං hat එක අතට අරං හිස පාත් කරල ඔවුනට ආචාර කරන්නෙ මගෙන් උඹලාට කිසිම බාධාවක් නැහැ කියන්නයි. ඒ අයත් ඒක දන්නව. සමහර විටෙක මං මෙතැන ඉඳීම ඔවුන්ගේ තනි නොතනියටත් එක්ක හොඳ ඇති. එහෙම නැතිව උකුසු ඇස් තියෙන, ජාගර අදහස් වලින් හිත පුරව ගත්ත එකෙක් මෙතන ලගින්න ගත්තොත් තමන්ගෙ ලෝකයේ රිසි සේ රැ‍ඳෙන්න බැරි විචිකිච්චාවක් ඔවුන්ට දැනෙන්නට ඉඩ තිබුණා.

මං කියාගෙන ආවෙ අර ග‍‍ඟේ එහා පැත්තෙ තියෙන මහල් නිවාසෙ පැත්තට වෙන්න කෙළවරේ තියෙන flat එකේ ජනෙල් කවුළුවෙන් එබිකං කරන මනුස්සය ගැන. හැමදාම මේ වෙලාවට මිනිහ ජනෙල් කවුළුවෙන් ඔලුව එළියට දානව.

මම දැන් පුරුද්දක් විදිහට මේ බංකුවෙ ඉඳ ගන්නෙම මිනිහ එතන වවුලෙක් වගේ එල්ලිලා ඉන්නවද කියල බලාගෙනමයි. වෙලාවකට පිළිමයක් තියල වගේ විනාඩි ගණනාවක් නොසෙල්වී බලාගෙන ඉන්න මිනිහ ගජ හපන.

ඈතින් ඇදෙන රේල්ලුව, highway එකේ ඉගිලෙන වාහන, නගරයේ කෙළවර පෙනෙන Shopping Mall  එක දිහාවෙ බලනව වගේ පෙනුනට මිනිහ ඇහැ ගහගෙන ඉන්නෙ මේ park එකේ ඉන්න ජෝඩු දිහාවෙම බව මට නං විශ්වාසයි. නැත්තං මොන පිස්සුවකටද කකුල් කඩෙත්තු හැදෙන කල් හැමදාම හැන්දෑවට ජනෙල් කවුළුව ළඟ හිටගෙන ඉන්නෙ. ජෝඩු දිහාවෙ විතරක් නොවෙයි, මෙතැන ගං ඉවුර දිගේ තියෙන පටු මං තීරුවෙ ඇවිද ගෙන යන ව්‍යායාම කරන මස් පර්වත වගේ ගෑනු දිහාවෙත් මිනිහ කෙළ හළ හළ බලං ඉන්නවට මෙන්න කැට.

මේ මිනිහ නම් හරිම කරදරකාරයෙක්. අනුන්ගෙ ජීවිත වලටමයි එබිකම් කරන්නෙ. ලැජ්ජ නැද්ද මංද? තමන්ගෙ ජීවිත කාලෙදි අත්පත් කරගන්න බැරි වෙච්චි දේවල් දිහාවෙ ඊරිසියාවෙන් බලනව වෙන්න පුළුවනි. ඊටත් වඩා තියෙන්නෙ කෑදරකම.

සමහර විට මිනිහ කවරමදාකවත් ගෑනියෙකුට ප්‍රේම කරල නැතිව ඇති. හොඳ ඇඟපත තියෙන ලස්සන ගෑනියෙක් එක්ක බුදියල නැතිව ඇති. ඒකනෙ ඔය කෙල හළ හළා හිතිං රමණයෙ යෙදෙන්නෙ.

මටත් නිවී හැනහිල්ලෙ පොතක් කියව ගන්න බැහැ මේ මිනිහ හංද. පිටුවක් පෙරලන කොට හොර ඇහෙන්වත් මිනිහ ඉන්න පැත්ත දිහාවෙමයි බැලෙන්නේ. මට මතක ඇති කාලෙක එකම එකම දවසයි ඔය මිනිහ හැන්දෑ වරුවෙ ජනෙල් කවුළුව ළඟ නොහිටියෙ. එදා නං අසනීපයක් වෙලා වෙන්න ඇති. අනේ අම්මප ඔය මිනිහට එහෙමවත් අසනීපයක් හැදිල ඇඳට වැටුණ නං මට හිතේ සැනසීමෙන් මේ පොත කියවගන්න ඉඩ තිබුණ. නොදකිං කාලකන්නිය.

මධ්‍යම පාංතික නිවාස සංකීර්ණයේ නිරුවතින් හැසිරෙන කාන්තාව.

මේ මනුස්සය ගැන මං දැනගත්තෙ අහම්බෙන්. වයසට ගියත් තියෙන ගෑනු පෙරේතකම. එක අතකට ඉතිං මොකක්ද ඔය වයස කියන්නෙ. අවුරුදු හැත්තෑවෙ අසූවෙ සීයලත් මිනිබිරියන්ට අතවර කරන කාලයක්නෙ මේ. ඒ හන්ද ලිංගික ආශාවට, නැත්නං කුතුහලයට කාන්තාවක්ගෙ නිරුවත දැකීමෙන් මානසික තෘප්තියක් ලබනව කියන එක වයස් භේදයකින් තොරව ඇති වෙන්න පුළුවන් කියල අපේ office එකට ආව අධ්‍යාපන විශේෂඥයෙකුත් කිව්ව.

මට මේ මිනිහ ගැන කිව්වෙ මේ තට්ටුවෙම ඉන්න මගේම යෙහෙළියක්. එයාගෙ පුතාගෙ විනෝදාංශය තමයි telescope  එකෙන් අහසෙ තරු බැලීම. ඈතින් පෙනෙන viewing tower එකේ ගැවසෙන මිනිස්සු ගණං කිරීමත් ඉඳහිට කරනවලු. හැබැයි ඒ දරුව කරන්නෙ හරිම අහිංසක වැඩක්. කාටවත්ම පිටතට නොපෙනෙන විදිහට සඟවල තියෙන telescope එකෙන් එයා අනුන්ගෙ ජීවිත වලට එබිකං කරන්නෙ නෑ.

මං කියන්න ගියෙ අර භූත මිනිහ ගැන. දවසක් අර පුතා tower එකට focus කරල ඉන්න කොට වැරදීමකින් ඉස්සරහ flat එක පැත්තට telescope එක හැරවිලා තියෙනව. තමන්ගෙ පැත්තටත් telescope එකක් එල්ල වෙලා තියෙන බව මිනිහ එක පාරටම දැකල. කොයි තරම් තිගැස්සුණාද කියනව නං tripod එකත් පෙරළගෙන පස්සට පැනල.

ඉතිං මගෙ යෙහෙළියටත් ප්‍රශ්නයක් ඇති වෙලා අනෙක් පැත්තෙ telescope එකක් අටවගෙන ඉන්නෙ කවුද කියල... මොනාටද කියල. ඉතිං දෙන්නත් එක්කම දවස් කීපයක් රෑට රෑට විපරම් කරල තියෙනව. මිනිහගෙ telescope එක හරියටම ඉලක්ක කරල තියෙන්නෙ අපේ පැත්තටලු. අපේ ගෙදරට. නැත්තං උඩ තට්ටුවේ අපේ ගෙට උඩින්ම තියෙන flat එකටලු.

එයා කිව්වෙ මට පරෙස්සම් වෙන්න කියල. අපේ ජීවිත වල අභ්‍යන්තරයට වෙනත් පිටස්තරයෙකුට එබිකම් කරන්න දෙන්නෙ මොටද කියල එයා අහන කතාවෙ ඇත්තක් තියෙනව. මං කිව්ව අපේ ගෙදර නං අමුතුවෙන් දකින්න දෙයක් නැහැ, ඇරත් ඔය පැත්තට පේන්නෙ අපේ living room එක විතරයි කියල. husband ගෙදර ආවට පස්සෙ පිටතට පේන්න සුදුසු නැති දේවල් අපි කරන්නෙ bed room එක ඇතුළෙදි කියල කිව්වම එයාට හරිම හිනා.

හැබැයි මම ටක්කෙටම දැන ගත්ත වැඩේ මොකක්ද කියල. මං හැමදාම වැඩ ඇරිල ගෙදර ඇවිත් living room එකේදි සේරම ඇඳුම් ගලවල දාන බව මං මගේ යෙහෙළියට කිව්වෙ නැහැ. එයා හිතයි මං මහ අශික්ෂිත ගෑනියක් කියල.

 ඒක ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මගෙ පුරුද්දක්. ඒ කාලෙ නං මං එහෙම කළේ මගෙ කාමරේ ඇතුළෙ ඉඳං. කාටවත්ම පිටතින් පේන්නෙ නැති බව හොඳාකාරවම දන්න නිසා. මෙහිදිත් මං නිකමටවත් හිතුවෙ නැහැ මෙච්ච්ර උසකින් තියෙන අපේ ගෙදරට තවත් ඇස් දෙකක් එබිකම් කරන්න ඉඩක් තියෙනව කියල.

මං දිහාවට තවත් ඇස් දෙකක් එල්ල වෙලා තියෙන බව දැනගන්න කල්ම මං ඇඳුම් උනා දැම්මෙ කිසිම විශේෂ සිතුවිල්ලකින් තොරවයි. ඔහේ පුරුද්දට. ඒත් මේ කතාව ඇහුවට පස්සෙ හවස වැඩ ඉවර වෙලා මං ගෙදර ආවෙ සේරම ඇඳුම් ගලවල දාල මගෙ දෙතන, වටොර, රහස් අවයව අර මිනිහට ප්‍රදර්ශනය කිරීමේ නොනිත් ආශාවෙන් කියල කිව්වොත් ඒක බොරුවක් නෙමෙයි.

මේක පුරුදු වුණාට පස්සෙ, ඒ කියන්නෙ මගෙ නිරුවත බලන්න කෙනෙක් පුල පුලා බලා ඉන්නව කියල දැන ගත්තට පස්සෙ මං වැඩ ඇරිල එද්දි අතරමග කා එක්කවත් කතාබහ කරන්න රැ‍ඳෙන්නවත් සුනංගු නොවෙන්නෙ අපේ එක්කෙනා එන්න කලින් මේ කෝලම ඉවරයක් කරන්න ඕනෙ හංදයි. නැත්තං එයා බලයි මං මේ හෙළුවෙන් නටන නාඩගම මොකක්ද කියල. එයාට නං මේ ගැන හාංකවිසියක්වත් දැනෙන්න ඉඩ තියන්නෑ.

මට මාර thrill එකක් දැනුණෙ මේ මනුස්සය හැට පැනපු නාකියෙක් කියල දැන ගත්තමයි. පඩි පෙළ නැග ගන්නෙත් අමාරුවෙන්ලු. මට කිව්වෙ ඒ ගොඩනැගිල්ලෙ ඉන්න අපේ office එකේ වැඩ කරන කෙනෙක්. මං නිකමට වගේ ඇහුව ඒ ගෙදර ඉස්සර මං දන්න කට්ටියක් හිටිය. තාම ඉන්නවද දන්නෙ නැහැ කියල.

එතකොට තමයි කිව්වෙ. ළඟකදි ඉඳං ඉන්නෙ වයසක තනිකඩ මනුස්සයෙක්ය. ගෙයිං එළියට යන්නෙත් ඉඳහිටය කියල.

මට වෙලාවකට හිතෙනව දවසක ගිහිං මිනිහ කවුද කියල බලා ගන්න ඇත්නම් කියල. මාව දැක්කත් මිනිහ අඳුන ගන්න එකක් නෑ. මිනිහට මගෙ මූණට වඩා මතක ඇත්තෙ breast  එක, බුරිය උඩ තියෙන  birth mark එක වගේ තැන් තමයි.

මම සැටියෙ පෙරලිලා කකුල් උඩ දා ගෙන knicker  එක ගලවනකොට මිනිහට හොඳ හොඳ දේවල් පේනව ඇති. ඔය telescope එකට කොයි තරම් details පේනවද දන්නෙ නෑ. මං බොරුවට ගලව ගන්න අමාරුවෙන් වගේ කකුල් දෙක උඩ දාගෙන පළල් කරගෙන ඉන්නෙ හොඳට focus කරගන්න ඉඩ දෙන්නයි.  අතිං පයිං යනව කියලයැ.

අනෙක මේක මිනිහ රහසක් විදිහටම තියාගෙන තනිවම තලුමරනව මිසක් කාටවත් නොකියන බව නං මට හොඳටම විශ්වාසයි. ඇයි අප්පා කටක් ඇරල කියන්න පුළුවන් වැඩක්ද ?

මිනිහගෙ flat එකට ගිහිං, දොරට තට්ටු කරල, දොර අරිද්දිම house coat එක open කරල පෙන්නගෙන ඔන්න මං ගෙදරටම ආව ...හොඳට බලාගත්ත නං කියල කියන්න මට ක්‍රමයක් නැති හැටි. එහෙනං මිනිහ heart attack හැදිල එතනම මැරිල වැටෙයි. පව් අනේ....

මහල් නිවාසයේ වෙසෙන විශ්‍රාමලත් කාන්තාව.

මට ඔය මිනිහ ගැන කිව්වෙ පහළ තට්ටුවෙ ඉන්න, අර ළඟදි කසාද බැඳල මෙහෙ පදිංචියට ආව ගෑනු දරුවෙක්. තාම එයාලට දරුවොත් නැහැ. දෙන්න හරිම ජොලියෙ ඉන්නෙ. කසාද බැඳපු අලුත කවුරුත් එහෙම තමා. කාටවත්ම කියන්න එපා දැනගැනීමට විතරයි කියන්නෙ. අපිට ඉතිං හානියක් නැහැනෙ මිනිහගෙන් කියලයි එයා කිව්වෙ. එක අතකට දුරේක්ෂයකින් බලන්න තරම් දෙයක් අපේ ජීවිතවල ඉතිරි වෙලා ඇතැයි.
දරුමල්ලො සේරම පිටරට. ලොකු පුතා ඉංජිනේරුවෙක්නෙ. පදිංචි වෙලා ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. දුව දොස්තරකෙනෙක් බැඳල ඉන්නෙ නවසීලන්තයෙ. බාල පුතා එංගලන්තෙට ශිෂ්‍යත්වෙකට ගියෙ මාස කීපෙකට කලියෙං.

අපි දෙන්නම ගුරු වෘත්තියෙන් විශ්‍රාම අරං ජීවිතේ සැඳෑ සමය ගෙවනව. බොහොම නිස්කලංකෙ. දරුවන්ට උගන්නන්න වියදම් කළා මිසක ගෙයක් දොරක් හදාගන්නවත් හිතුවෙ නෑ. ජීවිත කාලෙම flat ජීවිතේ. ජීවිතේම flat වෙලා වගේ.

අපි දෙන්න ඉතිං හවසට කරන්නෙ TV එක ඉස්සරහට වෙලා ඉන්න එක. වෙන මොනා කරන්නද ? හතට පටන් ගත්තම දහය වෙනකල්ම ටෙලි නාට්‍ය. එක එක channel වල. ඒ අතරින් පතර news බලනව. අපේ මහත්තයගෙ උවමනාවට.

රෑට සුප් කෝප්පයක් බීල, පාන් පෙත්තකින් සප්පායම් වෙන විදිහෙ සරල ආහාර චක්‍රයකට අපි හුරු වුණේ දොස්තර පුතාගෙ බල කිරීම හන්දමයි. නැත්තං ඉස්සර තුන් වේලම බත්.

මෑතක් වන තුරුම අපේ ජීවිත ගලා ගියේ එකම රටාවකට. එකම රිද්මයකට. අපේ ජීවිත වලට එබෙන තවත් දෑසක් තියෙනව කියල දැනගත්තු දවසෙ ඉඳං මගේ සිතුවිලි වෙනස් වුණා. මං දැන් කටයුතු කරන්නේ, හැසිරෙන්නේ මේ නාඳුනන ග්‍රාහකය තෘප්තිමත් කරන්නටත් එක්කයි.

මං වෙනදට වඩා අපේ මහත්තය සමීපයෙන් ඉඳ ගන්නෙත්, කවන්නෙ පොවන්නෙත් ඔය මිනිහට පෙනෙන්නයි. මුලදි මේක සීමාව ඉක්මවපු විහිළුවක් වගේ අපේ මහත්තයට දැනුණත් ක්‍රමයෙන් එයත් ඒකට වහ වැටුණ. වෙලාවකට තරුණ කාලෙ වගේ මං එයාව බදාගෙන වැළඳ ගන්නෙත් අනෙකාට පේන්නම තමයි. මොන විකාරයක්ද ආයෙම කෙල්ල වෙන්න යනවද කියල ඇහුවට එයා ඒකටත් ලොල් වෙලා බව ප්‍රතිචාර වලින් දැනෙනව.

අපේ ජීවිත ආයෙමත් දනි පනි ගහගෙන එන්නෙ ඈත කවුළුවකින් අපේ ජීවිතවලට එබිකම් කරන වයෝවෘද්ධ ආගන්තුකය නිසයි. ඒ ගැන එයාට ස්තූතිවන්ත වෙන්න ඕනෙ. ප්‍රදර්ශනාත්මක  සදාචාර සීමාවෙන් ඔබ්බට යන කොට තව දුරටත් කවුළුවේ තිර රෙදි ඇරල තියාගෙන වෙන කෙනෙකුට සියල්ල  දැක බලාගන්නට ඉඩ හරින්න තරම් ශක්තියක් මට ඇත්තේ නැහැ.

අඳුරු කොරි‍ඩෝරයේ කෙළවර ගෙදර වැන්දඹු මව.

ජීවිතේ ගලා යන්නෙ හරිම මන්දගාමීව. ළමයින්ගෙ තාත්ත accident එකකින් මිය පරලොව ගියාට පස්සෙ දැනෙන්න පටන් ගත්ත තනිකම දි‍නෙන් දින වර්ධනය වෙනව මිසක් සමහන් වීමක් නැහැ. මොන තරම් සාමකාමීව නිසංසලේ ගලාගෙන ගිය ජිවිත නේද එක අත්වැරදීමකින් විනාශ මුඛයට ළං වුණේ.

එදා එයා Highway එකේ ඇවිත් exit එකෙන් පහළට එන්න කාරෙක හරවල තියෙන්නෙ හරියට signal දමල බව පොලිසියත් පිළිගත්තෙ, පිටුපසින් අධික වේගෙන් ආ වාහනේ හැපිල කාර් එක පොඩිපට්ටම් වෙලා එයා එතනම මැරිල හිටියත් signal light හරි විදිහට වැඩකරමින් තිබුණ නිසා.

ජිවිතයේ එක නිමේශයක්. එක නිමේශයක අත්වැරදීමක්. ජීවිත තුනක් ඛේදවාචකයකට හෙළන්න හේතු වුණානෙ...මේක අපේ කරුමෙද ?  උරුමෙද ?

එයා අයින් වෙන්න කියද්දිත් මම රස්සාවට ගිය එක හොඳට ගියා. මට රස්සාවට යන්නත්, ඒ එක්කම දරුව ළඟින් තියාගන්නත් ඕනෙ වුණා. ගෙදර නවත්ත ගන්න තරමෙවත් නිදහසක් තිබුණ ඥාතියෙක්වත් හිටියෙ නැහැ. පිරිමියෙක් නං නවත්තගෙන බෑනෙ...කොයිතරම් වයසක වුණත්. ගෑනු ළමයින්ම දෙන්නෙක්නෙ. තාම පොඩි උං තමයි. ඒත් කොහොමද අද දවසෙ රටේ තොටේ සිද්ධ වෙන දේවල හැටියට කෙනෙකුව විශ්වාස කරන්නෙ. තමන්ගෙම කෙනෙක් වුණත්.

සීයල, මාමල, බාප්පල විතරක් නොවෙයි පියවරු අතිනුත් දූල කෙලෙසෙන කාලයක් මේක. ඒ අතින් මොන්ටිසෝරිය ආරක්ෂාවයි. මොන්ටිසෝරි වෙලාවෙන් පස්සෙ daycare එකකුත් එතනම පවත්ත ගෙන යන නිසා හවසට වැඩ ඇරිල එන තුරුම දරුවන්ට ආරක්ෂාව තියෙනව.

අපේ අම්මල නං කියන්නෙ ළමයි දෙන්නව ගමේ ගෙනැවිත් අරින්න කියල. ඒත් කොහොමද දෙයියනේ මේ දෙන්න නැතිව මම තට්ට තනියම මේ flat එකේ ජිවත් වෙන්නෙ. ඇරත් තාත්ත අහිමි වෙච්චි දරුවන්ගෙන් අම්මත් ඈත් වෙලා හිටියොත් ඒ ගොල්ලන්ට කොයි තරම් දුක හිතෙයිද ?

ජීවිතේ හරිම විඩාබර තමයි. උදේ රැයින් අවදි වෙලා කෑම උයල පිහල, බබාල දෙන්නටත් සුදුසු යමක් පිළියෙල කරල, අන්දවගෙන, මමත් ලෑස්ති වෙලා උදේ හත වෙනකොට ගෙදරින් දොට්ට බහිනව කියන්නෙ එත අතකට පුංචි යුද්ධයක් වගේ වුණත් දැං මං ඒකට හොඳට හුරු වෙලා.
 
හැන්දෑවෙ ගෙදර ආවම දෙන්නව හෝදල කරල, රෑට මොනව හරි උයා පිහාගෙන තමයි මම wash එකක් අර ගන්නෙ. ඒ වෙලාවට  TV එකේ  cartoon යන නිසා දෙන්න ඔහේ ඒ දිහාවෙ බලාගෙන ඉන්නව. මම  bath room එකේ දොර  lock නොකරන්නෙ උන්නු ගමන් ඒ ගොල්ල අහන ඒවට උත්තර දෙන්න ඕනෙ නිසා.

අපරාදෙ කියන්න බෑ. දෙන්නගෙන් නං කරදරයක් නෑ. පොඩි වුණාට හොඳට තේරෙනව. අම්ම ඒ ගොල්ලන් වෙනුවෙන් කොයි තරම් කැප කිරීමක් කරනවද කියල ඒ අය දන්නව. රෑ නින්දට යනකල්ම දෙන්නව ඔඩොක්කුවෙ තියාගෙන මමත් ගිමන් අරිනව. වෙලාවකට දන්නෙම නැතිව මටත් නින්ද යනව.

ජිවිතේ හරිම විඩාබරයි. යාන්ත්‍රිකයි. කෘත්‍රිමයි. වෙලාවකට අජීවී වස්තුවක් වගේ. ආදරය, සෙනෙහස, රැකවරණය, අවධානය නැති වුණාම මට මාවම දැනෙන්නෙ වෙළෙන්න ගහක් නැතිව පරඬැල් වුණ වැලක් වගේ.

අපේ ජීවිත වලට තවත් කෙනෙකුගෙ බැල්ම වැටෙනව නං කොයිතරම් අගේද කියල මට හිතෙන්න ගත්ත වාර අනන්තයි. කිසිම බලපෑමක් ඇති නොවෙන විදිහට වුණත් කමක් නෑ. ඒ කියන්නෙ ජීවිතයට බද්ධ වුණත් නොවුණත් එහෙම කෙනෙක් ඉන්නව කියල හිතෙන එකම හිතට සැනසීමක්.

එක දවසක් මං හිතමින් උන්න දේ ඇත්ත වෙලා. මට දවස් කීපයක ඉඳං දොරෙන් පිටත පොඩි පොඩි සද්ද ඇහුණ. ඒත් මම ගනං ගත්තේ නැහැ. මම හිතුවෙම බල්ලෙක් පූසෙක් කියලයි. දවසක් කවුරු නමුත් දොරේ වදිනව වගේ සද්දයක් ඇහුණම මට පොඩි කුතුහලයක් ආව. මම හෙමීට දොරේ යතුරු සිදුරෙන් එබිකම් කළා. මෙන්න බොලේ මිනිහෙක් ඉන්නව අකුලන පුටුවක් දිග ඇර ඇර. අර ඉඳ හිට පඩිපෙළේදි මුන ගැහෙන වයසක උන්දැ. මිනිහ එහෙනම් පුටුවකුත් තියා ගෙන යතුරු හිලෙන් එබිලා බලන්න වෙන්න ඇති සූදානම.

ඒකත් එක අතකට හොඳයි කියල මට හිතුණ. මේ මනුස්සය අපේ ජීවිත වලට කරදරයක් වෙන එකක් නැහැ. තරුණ පහේ එකෙක් වුණා නං යතුර ඇරගෙන ගෙට රිංගන්නනෙ බලන්නෙ. මේ මනුස්සයගෙ වයසත් එක්ක එහෙම කරදරකාරයෙක් වෙන්නෙ නැති වෙයි.

දූල දෙන්න නිදා ගත්තම ඇ‍ඳෙන් තියල ඇවිත් බොරුවට TV බල බල ඉන්නෙ එයා පිටතින් ඉන්න බව දන්න නිසා. එයා හුස්ම ගන්නවත් මට දැනෙනව වගේ. සමහර වෙලාවට දාහය නිවාගන්න මං කිමෝනාව වැඩියෙන් ඈත් මෑත් කරන්නෙ මේ  පුද්ගලයට පේන්නත් එක්කයි. මං කරන දේ ගැන මටම ලැජ්ජයි. ඒත් එහෙම ඒක හරිම ප්‍රබෝධජනකයි. පරඬැල් වෙලා යන ජීවිතේට ජීවයක් එන්නත් කලා වගේ.

මට එක වෙලාවකට හිතෙනව එක වරම දොර ඇරල බලන්න. ඒත් මේ මනුස්සයව අපහසුතාවට පත් කරන්න මට හිත් දෙන්නෙම නෑ. අපි අතර තියෙන අදෘශ්‍යමාන බැඳීමට හානියක් වෙයි කියල මං බයයි. දෙන්නගෙම ගොඩ නගාගත්ත ලෝකය සුනුවිසුණු වෙනවට මං බයයි.


මට ඕනෙ මේ ලෝකය තුළම ජීවත් වෙන්න. ඒ නිසා මං දොර අරින්නෙ නෑ.


        - හෙන්රි වර්ණකුලසූරිය


4 comments:

  1. තමන්ට හිතට ඇල්ලූ තැන් වල ඉන්නකොට දැනෙන්නේ පුදුම නිදහසක්...
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ..ඇත්ත ..ජය වේවා ...!

      Delete
  2. මිනිස් සිතේ සැඟවුණ ගූඪ සිතුවිලි අපූරුවට සටහන් කළ වෙනස්ම මාදිලියක කෙටිකතාවක්.

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැන තුති පවනී...ඔබ නිරන්තරයෙන් දක්වන අදහස් මට ශක්තියක්.

      Delete