Thursday 7 January 2016

ග්ලැසියර අබියස


දැන් හොඳටම රෑ වෙලා.  එලියෙ උෂ්ණත්වය අංශක 

බිංදුවට ළං වෙලා ඇති. ගිනි උදුන දල්වල, තද සීත ඇඳුම් පොරවගෙන සිරුර උණුසුම් කරගෙනයි ලියන්න ඉඳ ගත්තෙ.

සූරිච් වලින් මෙපිට ග්ලැස්යර්ස් කඳු වලින් ගහණ හිම යායට කිට්ටුවයි අපි ජීවත් වෙන්නෙ. අපි දෙන්නම වැඩ කරන්නෙ රෙස්ටොරන්ට් එකක. රෑ බෝ වෙනකල් වැඩ නිසා හොඳට එළිය වැටෙන තුරු නිදාගන්න පුළුවනි.
එයා බ්ලැන්කට් එක අස්සෙ ගුලි වෙලා ඉන්නෙ මං ඇඳට ආවම තුරුළු වෙන්න බලාගෙන. මූණ විතරයි පේන්නෙ. හරිම සීදේවි මූණ. කොහොමත් එයා සීදේවි, හරිම ආදරණීයයි. ආදරණීය බැල්ම.

ඒකමයි මම එයාට ඔය තරම් ඉක්මනින් බැඳුණෙ.

සේරම සිද්ධ වුණේ ඉතා කෙටි කාලයක් ඇතුළත.

ලංකාවෙදි කරමින් සිටි රැකියාවෙ ස්වභාවයට අනුව කිසිසේත් අදාළ නොවන, ඒ වගේම මා උනන්දුවක් නොදක්වන ක්ෂේත්‍රයක පුහුණුවක් ලබාගෙන එහිම කොටසක් වන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යෙදෙන්න මට සිද්ධ වුණේ අහම්බයෙන්.

ඒ අධ්‍යාපනික වීඩියෝ වැඩසටහන් නිර්මාණය කිරීමේ නුහුරු භාරදූර කර්තව්‍යයයි.

රැකියාවට බැ‍ඳෙද්දි මා සිතාගෙන සිටියේ විද්‍යාත්මක පදනමක් මත කෙරෙන සමීක්ෂණ හා දත්ත විශ්ලේෂණයන්ට සම්බන්ධ වෙමින් පැය අටේ සේවා කාලය ගෙවා දමන්නට හැකි බවයි.

ඒත් පැය අට, දහය දොළහ පසු කරමින් දවසේ දෙකේ ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු වලත් නිරත වන අතරතුර ඉඳ හිට පිට පළාත්වලට ගොස් නවතින්නටත් සිද්ධ වුණා.

“වාර්තා වීඩියෝ ප්‍රෝග්‍රෑම් හදන්න දෙන්නෙක් පුරුදු කරන්න තීරණය කරල. ජී.එම්. මහත්තය සුරංගගෙ නමත් යෝජනා කරල එවල තියෙනව. අනෙක් කෙනා තාක්ෂණ අංශෙ සුවිමාලි.” අපේ දෙපාර්තමේන්තුවෙ ලොක්ක කිව්වම මට ඒ ගැන කිසිම උනන්දුවක් ඇති වුණේ නැහැ.

“මොන මගුලකටද ඕව ඉගෙන ගෙන. ඇරත් ආයෙ රූපවාහිනියෙ රස්සාවට යන්න කියලයැ.” එහෙම හිතුණත් මං මුවින් නොබැණ ලොක්ක දිහවෙ බලං උන්නෙ මූණ බෙරි කරගෙන.

ලොක්ක දන්නව මම ඔය අදාළ නැති අමතර වැඩ වලට කැමති නැති බව.

 “ සුරංග.....ටොරිංටන් වල රූපවාහිනී අභ්‍යාස ආයතනයෙ තමයි පුහුණුව තියෙන්නෙ. අර ඇන්ඩෘ ජයමාන්න කියල ප්‍රසිද්ධ කැමරාමන් කෙනෙක් ඉන්නෙ. එයාගෙ නම තමයි පාඨමාලා අධ්‍යක්ෂ විදිහට තියෙන්නෙ. මේ දවස්වල වැඩි වැඩකුත් නැති එකේ ඕකට යනව. සුමාන තුනයි. ඇරත් දීමනා ගෙවනවනෙ.”
අන්තිම වාක්‍යය විතරයි මගෙ හිතට අල්ලල ගියේ.

ඒ සති තුන මාවයි, සුවිමාලිවයි දෙන්නවම රාජකාරි වලින් නිදහස් කරනු ලැබුව.

“සුරංග ඔයා සඳුදට කෙලින්ම ටොරිංටන් යනවද... ?” සිකුරාදා දවල් කෑම පැයේදි මාව හොයා ගෙන ආව සුවිමාලි ඇහුවෙ ඇහැක් පුංචි කරගෙන, කටේ කොනක් ඇද කරගෙන.

ඒ එයාගෙ හැටි. හිතාමතා කරන දෙයක් නොවෙයි. ඒ කටේ ඇදෙත් පුංචි ගතියක් තියෙනව කියල වෙලාවකට මට හිතෙනව.

තරමක් කළු තොල්. කළුමත් නැහැ. තළෙළු ඇඟට කැපෙන පාට. යටි තොල තරමක් බෙරි වෙලා. බෙරි වෙලාමත් නැහැ. ලස්සනයි. කතා කරද්දි බලා ඉන්න ආසයි.

මං කිව්ව මට බම්බලපිටිය බස් එකේ කෙලින්ම ඇවිත් බහින්න පුළුවනි කියල.

“අනේ සුරංග මං දන්නෙ නෑ ඕක තියෙන තැන. ටොරිංටන්වල රේඩියෝ සිලෝන් එකයි, රූපවාහිනියයි තියෙන තැන විතරයි මම දන්නෙ.”

“ඇයි ළමයො රාජ්‍ය පරිපාලනේ තියෙන්නෙ.”

“ංආ...ඔව් දන්නව. එතනද අනේ...”

“නෑ....නෑ...එතනින් ගියාම පදනම් ආයතනය දන්නෙ නැද්ද...”

“ දවසක් ගිහිං තියෙනවද කොහෙද...ඒත් ඒ පැත්තෙන් නෙමෙයි අනේ ගියෙ.”

“පදනම් ආයතනයට අල්ලපු ගොඩනැගිල්ල.”

“අනේ සඳුද උදේට විතරක් ඔයා තුංමුල්ලට එන්නකො. මං එකසිය තිස් අටේනෙ එන්නෙ. මං ලක්සල ගාව ඉන්නං....මට ඔතන හොයා ගන්න තේරෙන්නෙ නෑ අනේ...”

සුවිමාලි තො‍‍‍‍ඳොල් නොවුණාමත් නොවෙයි. ඒත් ඒ එයාගෙ හැටි. උදව්වක් පදව්වක් ඕනෙ වුණාම කොයි ගෑනිත් ඔහොම තමයි. පේන්නෙ නැද්ද අපේ ප්‍රියානි. අපේ නොවෙයි මගේ...” මට එවෙලෙ හිතුණෙ එහෙම.

ප්‍රියානිට හිල්ටන් එකේ මගුල ගන්නම ඕනෙ වුණ නිසයි කසාදෙ කල් ගියේ. නැත්නම් ඒ වෙනකොට බැඳල බබෙකුත් හදල. හිල්ටන් බැරි වුණොත් ගලධාරි එකේවත් මගුල නොගත්තොත් ලැජ්ජයිලු. දැං ඉතිං ඔය ගත්තෙ. බම්බුව තමයි.

ප්‍රියානිත් වැඩට ආවෙ ගියෙ මා එක්කමයි. එයා ආවෙ කඩවත ඉඳල. මං කැලණියෙ ටයර් සංස්ථා හංදියෙ එයා එනතුරු උදේට බලා ඉන්නව. එයා බස් එකේ ජනේලෙන් අතදාල සංඥා කළාම මම ඒකට නගිනව. එතකල් එන හැම බස් එක දිහාම උගුඩුව වගේ බලා ඉන්න ඕනෙ.

ප්‍රියානි වැඩ කළේ මරදාන ටෙක්නිකල් එක කිට්ටුව. ඔෆිස් එක ළඟට ගිහිං ඇරලවල මං එකසිය හැත්තෑ එකේ නැගල අනෙක් පැත්තට බත්තරමුල්ලට යනව.

සති තුනක් මේ චර්යාව කරන්න වෙන්නෙ නැති බව කිව්වම ප්‍රියානි එකඟ වුණා. මොකද මරදානෙ ගිහිං ආයෙම ටොරිංටන් එනව කියන එක පරංගිය කෝට්ටෙ ගියා වගේ වැඩක් වෙන හංද.

ඇරත් උදේ අට වෙද්දි පංති පටන් ගන්නව කියල ලියුමෙ තිබුණ.

මුල් දවසෙ හංද තුංමුල්ලට එන්න කියල සුවිමාලි කිව්ව කියල ප්‍රියානිට කිව්වෙ වැඩි හොඳට. නැත්තං මොකෙක් හරි මාව දැක්ක කිව්වොත් දීගෙත් ඉවරයි. හිල්ටන් එකේ මගුල අරගෙනත් ඉවරයි.

“එයා බබාද....ඔය ටික එන්න දන්නෙ නැද්ද...” ප්‍රියානිගෙ ඇස් ලොකු වුණා. රැව්ව රැවිල්ලක්. දත්මිටිත් කෑවද කොහෙද.

“මාත් එනව ඔයත්තෙක්ක. මටත් රාජ්‍ය පරිපාලනේට යන්න තියෙනව පොඩි වැඩකට.”

“ඉතිං මට මොකෝ. මටත් තනියට හොඳයි.”

ඔන්න අපි දෙන්න එකසිය පනස්හතරෙ ගිහිං තුංමුල්ලෙන් බැස්ස. සුවිමාලි එන්න තවත් මිනිත්තු විස්සක් විතර පහු වුණා. ඒකට මං පැය විස්සක නෝක්කාඩු කතා ඇහුව.

“එක එක ගෑනුන්ගෙ තනි රකින්න එනවට හොඳ වැඩේ. ඇයි ඒකිට නැද්ද බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්.....”

“මේ සුවිමාලි ආවම පුප්පන්න හෙම එපා. මටයි සවුත්තුව. ඔෆිස් එකේ මං ඉන්න ඕනෙ.”

සුවිමාලි එද්දි ඈත තියාගෙනම “ හලෝ මාලී.....” කියාගෙන ළඟට ගිය ප්‍රියානි එයාගෙ අත් දෙකෙන් අල්ල ගත්ත.

“මටත් රාජ්‍ය පරිපාල‍නෙන් කරගන්න වැඩක් තියෙනව. මෙතන තනියම ඉන්න මෙයාට කම්මැලියි කිව්ව හංද මාත් ආව. යං අනේ පරක්කු වෙනව” ප්‍රියානි ඉස්සර වුණා.

ප්‍රියානිත් ආව එක කොයිතරං හොඳද....” එහෙම කිව්ව සුවිමාලි අරයට හොරා කට ඇද කළා. තොල් බෙරි කළා. ලස්සනයි.

කොහොමින් හරි ඇන්ඩෘ සර් වාර්තා විඩියෝ වැඩසටහන හදන හැටි කියල දුන්නෙ ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්කමයි. ඒ නිසා කම්මැලිකමක් දැනුණෙ නෑ.

මුල් දවස්වල එක එක චිත්‍රපටවල කෑලි බලන් ඉන්න වුණ එක තමයි කම්මැලිම වැඩේ. පුංචි දවස්වල අපේ අයියගෙ කරදරේට අම්මලත් එක්ක “ගොපළු හඬ” බලන්න ගියාට පස්සෙ චිත්‍රපටයක් බැලුවෙම නැද්ද කොහෙද.

කොළඹ නගරයේ  මුඩුක්කු පැල්පත් ආශ්‍රිත ජන ජීවිතය ගැන වාර්තා වීඩියෝවක් හදන්නයි අපේ කණ්ඩායමට පැවරුණේ.

විවිධ ආයතන වලින් ආව විස්සක් විතර දෙනා පාඨමාලාව හැදෑරුව. වැඩි දෙනෙක් ඇවිත් තිබුණෙ වෙනසකටත් එක්ක වගේම රාජකාරි දීමනාවකුත් ලැබෙන නිසා.

අපි කණ්ඩායම් දෙකක් විදිහටයි වැඩ කළේ. සුවිමාලි අනෙක් කණ්ඩායමට වැටුණ.

සති දෙකක් යනකොට නොදැනීම මගෙ හැකියාව මතු වෙමින් තිබුණ.  කැමරාව එක්ක මං හැප්පෙන විදිහ ගැන ඇන්ඩෘ සර් සතුටු වුණා.

කොහොමින් හරි පිටපත ලියන්න බාර වුණේ මට. ඒකට අනෙක් අයත් උදව් කළා. ඒකත් හොඳ මට්ටමකට ආව කියල ඇන්ඩෘ සර් අගය කළා.

“දැන් මේක අධ්‍යක්ෂණය කරන්නෙ කවුද ? කවුරු හරි කැමැත්තෙන් ඉදිරිපත් වෙනවද ?”

හැමෝම පස්ස ගැහුව. අරයගෙ මෙයාගෙ නම් කියන්න පටන් ගත්ත. කසුකුසුවක් පැතිරුණා.

“පිටපත ලිව්වෙ සුරංගනෙ. අපි සුරංගටම බාර දෙමු.”

ඒකමතිකව මම අධ්‍යක්ෂ වුණා. කවද කාපු ටකරංද ?

*                *                      *                      *

මාස තුනකට විතර පස්සෙ ඇන්ඩෘ සර් ඔෆිස් එකට දුරකතන ඇමතුමක් දුන්න. දකුණු ආසියාතික කෙටි හා වාර්තා වීඩියෝ උළෙලක් කොළඹදී පැවැත්වන බවත්, අපි නිර්මාණය කළ “දැවෙන හදවත්”  එහි ප්‍රදර්ශනයට තේරිලා බවත් කිව්වම මට අදහාගන්න බැරි වුණා.

සුවිමාලි මට සුබ පැතුවෙ මුහුණට මුහුණ තියල හග් එකක් දීල. එයා කොහොමත් සෝෂල්. මට ඉක්මනට වටපිට බැලුනෙ කවුරුවත් දැක්කද කියලයි. හොඳ වෙලාවකට පේන තැනක කවුරුවත් හිටියෙ නැහැ. එයත් බය නැතිව දෙන්න ඇත්තෙ ඒ නිසාම වෙන්න ඇති.

“බෑයි කියල ගියාට ඔන්න වැඩකාරයට බොරු බෑ කියන්නෙ ඒක තමයි.”

“මොන වැඩකාරයෙක්ද මාලි. නිකං කනාවට වැදුණු ෂොට් එකක්. ඔයගොල්ලන්ගෙ පිහිටෙන් මං ගොඩ ගියේ.”

“අපරාදෙ මාව අනෙක් ගෲප් එකට වැටු‍ණෙ. මහම මහ ගොබ්බයො ටිකක් අනේ..”

උළෙල දවසෙ සුවිමාලිත්, ප්‍රියානිත් එක ළඟ ඉඳගෙන වල්පල් කියවන්න ගත්ත.

“මෙයා හෙමිජ්ජ වගේ උන්නට බලන්නෙපෑ වැඩ බලං ගියාම” ප්‍රියානි කිව්වෙ ඔලොක්කුවටද නැද්ද කියල මම හිතන්න ගියෙ නෑ.

තවත් මාසෙකට විතර පස්සෙ ඇන්ඩෘ සර් පණිවිඩයක් තියල තිබුණ වහාම ඇවිත් එයාව මුණ ගැහෙන්න කියල. මං ෂෝට් ලීව් එකක් දාල ගියා.

ස්විට්සර්ලන්තයෙ පැවැත්වෙන කෙටි හා වාර්තා චිත්‍රපට උළෙලකට “දැවෙන හදවත්” තෝරගෙන. ගුවන් ටිකට්පත, නවාතැන්, ආහාරපාන සමග අධ්‍යක්ෂවරයාට සහභාගිවෙන්න ආරාධනාවක් ඇවිත්.

“මේක හොඳ චාන්ස් එකක්. ස්විස්වලට යන්න ලේසියෙන්  වීසා ගන්න බැහැ. ඔයා මැරි කරල නං වයිෆ් එක්කන් යන්නත් පුළුවනි. ඒත් ටිකට් එක ගන්න වෙනව.”

“මං තාම බැඳල නෑ...සර්...මේකට වෙන කෙනෙකුව යවන්න බැරිද...මට ඒ තරං උන්න්දුවක් නෑ.”

ඇන්ඩෘ සර් පුදුම වෙලා බැලුව.

“පිස්සු නැතිව යනව. ආයෙ කවදා ඔහොම චාන්ස් එකක් ලැබෙන්නද ? සෙන්ජෙන් වීසා ලැබෙයි.”

මං දැනන් උන්න සෙන්ජෙනක් නෑ. ස්විට්සර්ලන්තයට කියල වෙනම වීසා දෙන්නෙ නැති බවත්, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වගේ යාබද රටවල් ගනනාවකට යන්න පුළුවන් විදිහෙ වීසා එකක් ලැබෙන බවත් මං දැනගත්තෙ ඒ කාලෙ ප්‍රියානිගෙ ඔෆිස් එකේ වැඩ කළ පුෂ්පගෙන්. පුෂ්පා රාණි.

ඒක අමුතුම කතාවක්. ඇත්තටම මේ කතාව පටන් ගන්නෙ එතැනින්.

ප්‍රියානි ඔෆිස් එකේදි නයා පාර දාල මට ස්විට්සර්ලන්තයට යන්න චාන්ස් එකක් ආව කියල. කසාද බැඳල උන්න නං එයාටත් යන්න තිබුණ බවත්, ඒත් අතින් ටිකට් ගන්න ඕනෙ නිසා ඒ ගැන හිතන්නෙ නැති බවත් ප්‍රියානි කියද්දි අනෙක් උන් ‘ඉතිං කසාදෙ රෙජිස්ටර් කරල උඹත් පලයංකො’ කියල වදේ ගහන්න පටන් අරන්.

“ඔය හිල්ටන් මගුල සෝලිස් එකේ අරං හරි, මගුලක් ගන්නෙම නැතිව හරි ටිකට් එකක් අරං ගියා නං හනිමූන් එක ස්විට්සර්ලන්තෙම ගන්න තිබුණ” කියල ජහුට කිව්වලු. ජහුටගෙ නම නං දන්නෙ නෑ. ඒත් ඌ හොඳ එකා.

“ජහුට කිව්වම මටත් ඒක හොඳ අදහසක් කියල හිතුණ අනේ. ඒත් පස්සෙන් පහු කල්පනා කරද්දි හිතෙන්න ගත්ත වෙඩින් එක හිල්ටන් එකේදිම ගනිමු කියල. හනිමූන් නං කොහෙ යන්න බැරිද....කොහෙ ගියත් කරන්නෙ එකම වැඩේනෙ...” ප්‍රියානි ඔය වගේ කතා දිවේ, තොලේ නොගෑවි කියන්නෙ පිරිමියෙක් වගේ.

දවස් දෙකකට පස්සෙ හවස වැඩ ඇරිල ප්‍රියානිගෙ ඔෆිස් එක ගාවට යද්දි එයා කවදාවත් නැති විදිහට එළියටම ඇවිත් හිටගෙන උන්න. වෙනද මං ආව කියල සිකියුරිටි එකෙන් කෝල් එකක් දුන්නමයි එයා පහළට එන්නෙ.

“අනේ අපි කොහෙ හරි තැනකට යංද ටිකක් කතා කරන්න. හරිම වැදගත් කාරණයක්. ලොකු රහසක්.” වෙනද පිටකොටුවට ගිහිං බස් එකේ පිටිපස්ස පේළියෙ මුල්ලක් අල්ලං ගෙදර යන කල් අපේ ලෝකෙ තනිවෙන අපි දෙන්න පොඩි රෙස්ටොරන්ට් එකකට රිංගුව.

ෆලූඩා දෙකක් ඕඩර් කළා. ප්‍රියානි ඒ දවස්වල ෆලූඩා බොන්න හරි කැමතියි.

කාරණාව මේකයි.

ප්‍රියානිගෙ ඔෆිස් එකේ ඉන්නව දෙමළ තරුණියක්. පුෂ්පරාණි.

එයා විවාහ වෙන්න ඉන්න කෙනා ලැබුණ අවස්ථාවකින් ප්‍රයෝජන අරගෙන ස්විට්සර්ලන්තෙට පැනල. අවුරුදු හතරක් එහෙලු. ලංකාවට ආවොත් මිනිහට ආපහු යන්න බෑ. එයා බලන්නෙ මෙයාව කොහොම හරි එහෙට ගෙන්න ගන්න විදිහක්ලු. ඒත් වීසා ගන්න එක හීනයක්ලු.

ඒක‍ට හොඳ අවස්ථාවක් ලැබිල. මට වීසා ලැබෙනවනෙ. වයිෆ්ටත් යන්න පුළුවනිනෙ. පුෂ්ප මගේ බිරිඳ විදිහට වීසා ඉල්ලුම් කරනව. විවාහ සහතිකේ හොරට හදල දෙනව. අවුරුදු කීපෙකට කලිං බැන්ද විදිහට. ඒක ඒ ගොල්ල කරගන්නව. පුෂ්ප මාත්තෙක්ක ස්විස් යනව. එයාර්පෝර්ට් එකට මහත්තය එනව කැන්දන් යන්න.

පුෂ්ප පනිනව. මම මගෙ සංචාරය ඉවර වෙලා ආපහු එනව. මේ වෙනුවෙන් අපට ලක්ෂ විසිපහක් ලැබෙනව.

පුෂ්පගෙ පෙම්වතාගෙ යෝජනාව පුෂ්පා හරහා ප්‍රියානි මගින් මට සම්ප්‍රේෂණය වුණා.

“හිල්ටන් එකේ වෙඩින් එක ගන්න මදිපාඩුව පියවෙනවනෙ. අතටත් ඉතුරු වෙනව.” ප්‍රියානි වැඩේට එයාගෙ එකඟතාව පළ කරලයි ඇවිත් උන්නෙ.

“එතකොට මම පුෂ්පව බඳින්න ඕනෙ.”

“නෑ..අනේ...බැන්ද කියල හොර සහතිකයක්. ඕකට විතරනෙ. ආව ගමන් අපි බඳිමු.”

දවස් ගත වුණේ බොහොම වෙගයෙන්.

ප්‍රියානිත්, මාත්, පුෂ්පරාණිත් නිතොර හමු වුණා කරන දේ සාකච්ඡා කරන්න. එක එක වැඩ වලට යන්න. ප්‍රියානිට වැඩ නිසා, හැමදේටම නිවාඩු දාන්න බැරි නිසා මායි, පුෂ්පයි විතරක් හමු වුණා.

හොර සහතික හදාගන්න අපි දෙන්නටම පෙනී ඉන්න සිද්ධ වුණා. නිළධාරිය කිව්ව අපි දෙන්න ඇත්තටම විවාහ වුණා  කියල ලියාපදිංචි කරන්න වෙනව. දිනය විතරක් හොරට දාල දෙන්නම් කියල.

පුෂ්ප කිව්ව එහෙම කරන්න කියල. අපි නිළධාරියට කිව්වෙ ඇත්තටම විවාහ වෙන්නයි උන්නෙ. වෙඩින් එක හිල්ටන් එකේ අරගෙන. ඒත් හදිස්සියෙ සංචාරයකට යන්න සිද්ධ වුණා. ඒකට වීසා හදාගන්නයි සහතිකේ ඕනෙ කියල.

පුෂ්ප මොහොතකට ප්‍රියානිගෙ භූමිකාව රඟපෑව.

“ඔයා ආවම ප්‍රියානිව බැඳගන්න. මේක වෙන කවුරුවත් දන්නෙ නෑනෙ.” පුෂ්ප කිව්ව.

“මම නං අරයගෙ බල කිරිල්ලටයි මේ ගමන යන්නෙ. නැත්තං මට එහෙ යන්න ලොකු උවමනාවක් නැහැ.”

අපට එම්බසියට දෙවතාවක් යන්න සිද්ධ වුණා. වීසා හදාගන්න වැඩේට.

“අරය කියනව ඔයාටත් ඕනෙ නං පනින්න පුළුවනිලු. කැමති නං ඒකට ලෑස්ති වෙලා එන්නලු.”

වීසා අනුමත වුණා. දෙන්නටම. වීසා අනුමත කළ නිළධාරිය අපි දෙන්නගෙන් වෙන වෙනම ප්‍රශ්න කළා. අපි හරියට උත්තර දුන්න. අපේ පවුල්වල විස්තර අපි කටපාඩම් කරගෙන උන්නෙ.

“ඔයා පනින්නෙ නැති වුණත් රටතොට සංචාරය කරලම එන්න පුළුවනිනෙ. එයා කිව්ව ප්‍රංශෙට, ජර්මනියට, ඉතාලියට එහෙම ගිහිං එන්න පුළුවනිලු. සෙන්ජෙන් වීසානෙ. ඒ හංද සීත ඇඳුම් ටිකක් ඔයත් වැඩියෙන් ගන්න.”

හවුස් ඔෆ් ෆැෂන් එකට ගිය දවසක පුෂ්ප කිව්ව. ප්‍රියානි වගේ නොවෙයි. පුෂ්ප එක්ක ෂොපිං ලේසියි. ප්‍රියානි නං එක ඇඳුම ගාවට කී පාරක් එනව යනවද ? පුෂ්ප එහෙම නෑ. හොඳට දෙපැත්ත හරවල බැලුව. ෆිට් ඔන් එකට ගියා. තීන්දු කළා.

“මටත් ආසයි ෆිල්ම් ෆෙස්ටිවල් එක බලන්න ඇත්නං.”

“ඉතිං බලමු. වීසා ගත්තෙත් ඒකට යන්න කියලනෙ.”

“අරය කැමති වෙන්නෙ නෑ අනේ. එයාර්පෝර්ට් එකෙන්ම මාව ඩැහැගෙන යයි.”

අපි ගුවන්ගත වුණා. ප්‍රියානි අම්මලත් එක්ක අපිව ඇරලවන්න ආව. පුෂ්ප ආවෙ තනිවම.

“මම අරයට එන දිනේ බොරුවක් කිව්වෙ. ෆිල්ම් ෆෙස්ටිවල් එක දවස් තුනක්නෙ. ඒක ඉවර වෙලා එයාට කෝල් කරනව. ඉන්න තැනක් කියල. ඕනෙ නං ටිකක් බනියි.” පුෂ්ප කිව්වෙ ගුවන්යානයේ යාබද අසුනෙ හිඳගෙන මගෙ පැත්තට හිස මදක් ඇල කරගෙන.

ගුවන්යානය ඉහළ නගිද්දි දැනුණෙ වචනයෙන් විස්තර ගරන්න බැරි අමුතු හැඟීමක්. නිකං හිස් අවකාශයක ඉහළට ඇදගෙන යන්න වගේ. පුෂ්ප මගෙ අත තදින් අල්ලගත්තෙ බයටත් එක්ක.

අපිව කැඳවගෙන යන්න ජෝඩුවක් ඇවිත් උන්න. මේ මගේ බිරිඳ නේද කියල ස්ටීව් ඇහුව. මම ඔව් කිව්ව. හොඳට කැපෙන ජෝඩුව කියල ජෙනී කිව්ව.


පුෂ්ප ආදරණීය දෑසින් මා දිහා බැලුව.




- හෙන්රි  වර්ණකුලසූරිය 

2 comments:

  1. ඒක මාරයි. මුල ඉඳන්ම සුවිමාලි ගැන හින්ට් දීල කොහෙද හිටපු පුෂ්පෙක්ව ගෙනත් අතඇරියා නේද?

    ReplyDelete